Sunday, June 3, 2018

සුද්දා


සුද්දා




අපේ ගෙදර හැමදාමත් පූසෙක් ඇති කළා. එක පූසෙක් නැති වෙන කොටම ආයෙත් අලුතින් පූස් පැටියෙක් ගෙනාවා. ඒ අපේ ගෙදර අයට මිදෙන්න ඔන උන නිසා. මීයො නැති උනත් පූස් පැටියෙක් ඇති කරන්න මට තිබුණෙ ලොකු ආසාවක්. මට මතකයි ඒ පුංචිම පුංචි පූස් පැටිය ගෙනාවෙ සිදුරැ විදල තිබුණ කාඩ්බෝඩ් පෙට්ටියක. බතික් රෙද්දක් වගේ එක එක පාටින් ඌ ලස්සන වෙලා හිටිය. දුඹුරැ පාට, සුදු පාට, කළු පාට, අළු පාට මේ වගේ පාට ගොඩක් උගේ ඇග පුරාම විසිරිලා තිබුණා. ඒ නිසාම ඒ පැටියට ගෙදර හැමෝම කතා කළේ බතික් කියල.
පූස් පැටියෙක් කියල හිතාගෙන ගෙනත් තිබුණත් ලොකු වෙන කොට තමයි දැන ගත්තෙ ඒ පූසි පැටියෙක් කියල. ඒත් පුංචි මට නම් ලොකු සතුටක් ඇති වුණා. එතකොට පූස් පැටව් ගොඩක් හදන්න පුළුවන්නෙ. අම්මා නම් ටිකක් අමනාපෙන් තමයි හිටියෙ පූසි පැටියෙක් ගෙනල්ල කියල. කොහොම හරි බතික් ඊට පස්සෙ බතී වුණා. බතී හැමෝගෙම ආදරය දිනා ගෙන ටිනෙක් ටික ලොකු වුණා.
ටික කාලයකට පස්සෙ බතීට පුංචිම පුංචි එකම එක පූස් පැටියෙක් හම්බ වුණා. ඌ සුදුම සුදු පාටයි. බතීගෙ බඩේ හිටිය එකම පූස් පැටිය නිසා වෙන්න ඇති ඌ පුංචි කාළෙත් හොදට පෘෂ්ටිමත්ව හිටිය. මම බතීගෙ ඔළුව අත ගාන ගමන් හෙමීහිට පූස් පැටියගෙ ඔළුව අත ගෑවා.හරිම සිනිදුයි. පූස් පැටියගෙ ඇස් ඇරිල තිබුණෙ නැති වුණත් මම පැටියත් එක්ක කතා කළා.
ඉක්මනට ලොකු වෙන්න පැටියෝ එතකොට මට සෙල්ලම් කරන්න පුළුවන් ඔයත් එක්ක.
ඔන්න ටික දවසක් ගියාම පූස් පැටියගෙ ඇස් ඇරැණ. දැන්නම් හරිම ලස්සනයි. අහිංසක ඇස් දෙකක්. මං කතා කරන කොට මගේ දිහා හොදට බලාගෙන ඉන්නව. ඇස් ඇරිල වැඩි දවසක් ගියේ නෑ පූස් පැටිය තනි කරල පූස් අම්ම එකපාරමට අතුරැදහන් වුණා. පූස් අම්මට මොනව උනාද කියල කව්රැවත් දන්නෙ නෑ. බත් කන්න තියා පීරිසියෙන් කිරි බොන්න තරම්වත් තේරැමක් පූස් පැටියට තිබුණෙ නෑ. කොහොමද දැන් කිරි පොවන්නෙ, පූස් පැටිය හදාගන්නෙ කොහොමද කියල හැමෝම කල්පනා කර කර ඉන්න කොට මට හොද අදහසක් ආවා. මම කිව්ව පුංචි ගම්බෝතලයකින් කිරි පොවමු කියල. ඒ කමය සාර්ථක උනා. ඌ ගම් බෝතලෙන් කිරි බොන්න පුරැදු වුණා.
කිරිම කිරි පාටට පුළුන් බෝලයක් වගේ පූස් පැටිය ලොකු වුණා. දැන් නම් ආසාවෙ බෑ. සෙල්ලම් කරන වයස. හැංගිප ඉදන් අපේ කකුල්වලට පනිනව, උගේ වලිගෙම අල්ලගෙන හපනව, බිම තියන කොළවලට කුස්සියෙ වැටිල තියන ලූණු පොත්තක් නැත්නම් මිරිස් කරලකට අතින් ගහ ගහ සෙල්ලම් කරනව. පූස් පැටියත් එක්ක මගේ දවසත් දන්නෙම නැතුව ගෙවිල ගියා.
සීයා තමයි අපේ ගෙදරට ගේන බලු පැටවුන්ට පූස් පැටවුන්ට නම් දාන්නෙ. පූස් පැටියගෙ අම්මටත් බතී කියල මුලින්ම කතා කරන්න ගත්තෙ සීයා. ඒත් මටත් එක එක විදියෙ නම් ඔළුවට එනව. මාත් කැතියි ඒ නමක් ගෙදර ඉන්න සුරතලුන්ට දාන්න. ඒත් මම දාන නම් මමම දවසින් දවස වෙනස් කළා. මෙයා කළු නිසා මෙයාට කළු කියමු, නෑ නෑ බ්ලැකී කියමු, රෙක්සි කියන නමත් හොදයි නේ මම එක එක නම්වලින් ඒ ගොල්ලොන්ට කතා කළත් ඒවාට එයාල කැමති නෑ වගේ අහක බලන් ඉන්නව. සියා දාන නම්වලින් ගෙදර හැමෝමත් එයාලට කතා කරන නිසා එයාලත් ඒ නම්වලට පුරැදු වෙලා.
සාමාන්‍යෙයන්  ඕනෑම තනි පාට සතෙකුගෙ පොඩ්ඩක් හරි වෙනත් පාටකුත් තියනවනෙ. ඒත් මේ පූස් පැටියට තිබුණෙ සුදු පාට විතරමයි. මේ නිසාම සීයා ඌට සුද්දෙක් ද කොහෙද? කියල ඌට සුද්දා කියල කතා කරන්න පටන් ගත්තා. ඒත් මට ඕන උනේ සුදූ කියන්න. ඒත් හැමෝම සුද්දා කෝ? , මෙන්න සුද්දට බඩගිනි වෙලා බත් ටිකක් අනල දෙන්න, සුද්දෝ සුද්දෝ කියල කතා කරන්න පටන් ගත්තා. බැරිම තැන මමත් සුද්දා කියලම කතා කළා.
සුද්දා දැන් පැටියෙක් නෙවෙයි. සූස් නාම්බෙක් . ගෙදර ඉන්නෙ නැතුව ටික ටික ඈතට ඇවිදින්න යන්නත් පුරැදු වෙලා. එතකොට තාත්ත නම් කීවෙ ඇවිදින්න යනකොට තමයි ඉතිං නැතිවෙන්න. පිඹුරොන්ට අහුවෙනවනෙ. අපේ ගෙදර ඇතිකළ කිසිම පූසෙක් මිය ගොස් සිටිනු අප කව්රැවත් දැක නැත. සියලු පූසන් ලොකු මහත් වූ පසු එකවරම අතුරැදහන් වේ. ඒ නිසාම කව්රැත් කීවෙ කොළදිවියා කනවැති. නැත්නම් පිඹුරොන්ට අහුවෙනවැති කියලා. ඒත් මම ඔය කියන කොලදිවියා කවදාවත් දැක නැත. පිඹුරැ පැටියෙකු නම් දවසක් රාතියේ මිදුලේ සිටින අයුරැ දැක දැක ගන්නට හැකි වුණි.
හැමෝගෙම ආදරය කරැණාව දිනාගත් සුද්දා දැන් ලොකු පූසෙකි. සුදුම සුදු පාට දකින ඕනෑම කෙනෙකුට ආසා හිතෙන ලස්සන පූසෙකි. අපේ ගෙදර හැමෝම සුද්දාට ආදරය කළෝය. පොල් ගාන්නට හිරමනය ගන්නා විටම සුද්දා කුස්සියට දුව ගෙන එන්නේය.අම්මා එවිට බලන්න හිරමනය ගන්නකෙටම දුවල එන හැටි යි කියා මුලින්ම ගාන පොල් ඩිංගිත්ත සුද්දට දෙයි. බිස්කට් දාල තියන ටින් එක අරින කොටත් සුද්දා දුවගෙන එන්නේ ඤෑව් කියා ගෙනමය. හැමෝගෙම කකුල්වල දැවටි දැවටී පුරැ පුරැ ගාමින් අපේ ආදරය දිනා ගන්නටද සුද්දා ලොකු හැකියාවක් තිබුණි.
නමුදු කාලයත් සමග සුද්දාගෙන් බළල් වර්ගයාගෙන් වෙනස් වූ හැසිරීමක් දැක ගත හැකි විය. දිනක් අප නිවසට ඥාතීන් පිරිසක් පැමිණ කතා පැමිණ යෙදී සිටියදී ඔවුන් අතරින් සුද්දා කිසිදු වෙනසක් නොමැතිව ගමන් කරමින් සිටියේය. අප කාටවත් සුද්දාගේ කිසිදු වෙනසක් අසාමාන්‍ය බවක් දිස් නොවුණි. නමුදු ඒකවර නිහඩව ගමන් කළ සුද්දා පුටුවක වාඩි වී සිටි අපේ අම්මාගේ කකුල බදා ගෙන හපන්නට විය. සුද්දාට පහර දීමෙන් ඌ කකුල හැපීම නතර කෙළ්ය. නමුදු කකුලෙන් ලේ බිදු මතු වෙමින් තිබුණි.
මෙම හපා කෑම අපට විශ්වාස කරන්නට අමාරැය. අම්මා අප මෙන් සුද්දා වඩා ගන්නට අතගාන්නට උනන්දු නොවුනත් සුද්දාට ආදරය කළාය. සුද්දාට බත් අනා දුන්නාය. සුද්දා ගැන සෙව්වාය. බැලුවාය. අවසන අප සැමගේ අදහස වූයේ සුද්දා කෙරෙහි අප කාගේත් අවධානය ඒ මොහොතේ නොතිබුණු බැවින් ආදරය, අවධානය නොලැබීමේ දුකට සපා කන්නට ඇති බවයි. ඉන්පසු කිසිදු වෙනස්කමක් ඌ වෙතින් දිස් නොවුණි. සාමාන්‍ය පරිදි සුද්දා අප නිවසේ කාලය ගත කළේය. අපටද මුලදී සුද්දා කෙරෙහි යම් බියක් පැවතුණද  එයද ටික කලකින් අමතක වුණි.
මාස කිහිපයකට පසු සුද්දාගේ හැසිරීම යළි වෙනස් වන්නට විය. ඒ අපගේ ලොකු තාත්තා අපේ නිවසට දින කිහිපයකට නතර වී හිද යාමට පැමිණි අවස්ථාවකය. ලොකු තාත්තා පැමිණි දාම රාතියේ සුද්දා සාමාන්‍ය ඤාව් හඩින් වෙනස්ව පකෝපකාරී හඩකින් නොනවත්වා කෑගසන්නට විය. අප සැවොම බිය විය. මින් පෙර කිසි දිනක එලෙස ඌ කෑ ගසා තිබුණේ නැත. සුද්දා අල්ලා ගැනීමට ළගට යාමටද අප බිය විය. එකවරම සුද්දා ලොකු තාත්තා සිටි දෙසට දිව යන්නට විය. වහාම තාත්තා ලොකු තාත්තා කාමරයකට යවා දොර වැසුවේය. ඉන්පසු සුද්දා ජනේලයකින් කාමරයට යන්නට උත්සහ කරන අයුරැ දුටු මා වහාම ජනේලය වසා දැමුවෙමි. එවිට සුද්දා කෑගසමින්ම ඈතට යන්නට විය.
එදිනට පසුව සුද්දාගේ මෙම අසාමාන්‍ය හැසිරීම සුළු සුළු වෙනස්කම් සහිතව කීප වතාවක්ම දැක ගන්නට හැකි විය. මෙම තත්වය නිවසේ දඩයම් බල්ලෙකු ඇති කරනවා වැනි තත්වයක් බවට පත් විය. නමුත් සුද්දාගේ මෙම හැසිරීම සුළු මොහොතකට පමණක් සීමා වෙයි. යළි ආදරණීය පූස් සුරතලා බවට පත් වන්නේය. නිවසට කවුරැන් හෝ අමුත්තෙකු පැමිණි විගස සුද්දා වහාම ඔහු වෙතට දිය යන්නේය. නිවසට පැමිණි අය අතරින් සුද්දා පිළිබද නොදැන සිටියෝ අපහසුතාවන්ට පත්වූහ. වහාම නිවසට කවුරැන් හෝ පැමිණි විගස අප කරන්නේ සුද්දා අල්ලා කාමරයකට දමා අමුත්තා නිවසට කැදවා ගෙන ඒමයි. ඔහු හෝ ඇය යළි නිවසින් යන තෙක් නිවාස අඩස්සියේ සිටින්නට සුද්දා සිදු විය.
සුද්දා පිළිබද තතු දන්නා බොහෝ අය අප නිවසට පැමිණෙන විට ඈත සිටම පූසා ඉන්නවද? යි ඇසීමට පුරැදු විය. නමුත් සුද්දා සෑම අයෙකුටම එලෙස බියකරැ ලෙස පතිචාර දක්වන්නට ගියේ නැත. අපට මෙම හැසිරීම මහත් පුදුමයක් ඒ වගේම කරදරයක් ගෙන දුන්නේය.
තවත් දිනක් අප මාමාගේ පුතා අප නිවසට පැමිණ අප හා කතා කරමින් සිටියේය. සුද්දාද සාමාන්‍ය පරිදි නිවසේ ඇවිදිමින් සිටියේය. නමත් එකවරම සුද්දාගේ සාමාන්‍ය ස්වභාවය අසාමාන්‍ය වන්නට විය. මාමගේ පුතා වෙතට වේගයෙන් එන බවක් දුටු බැවින් ඔහු වහා දුවන්නට විය. සුද්දාද පරදින්නට සූදානම් නැත. ඌද ඔහු පිටුපසින් දුවන්නට විය. ඔහු ගේ වටේටම දිව යන්නට වූ අතර පූසාද ඔහු පිටුපසින් දුවන්නට විය. අප පූසා පිටුපසින් ඌ අල්ලා ගන්නට දුවන්නට වීමු. කෙසේ හෝ සූසා මොහොතකින් පරාජය භාර ගෙන නිහඩව ඈතට යන්නට වුණි. කෙසේ හෝ ඔහු පූසාගෙන් ගැලවුණි.
දිනක් අප නිවසට ආසන්න වත්තේ වැඩ කරමින් සිටි මාමා කෙනෙකු අප නිවසට පැමිණියේය. ඔහු ආගන්තුකයෙකු වූ බැවින් සුද්දා පිළිබද කිසිවක් නොදැන සිටියේය. සුද්දාද ඔහුගේ පැමිණීමෙන් පසු ක්ෂණිකව වෙනස් වුණි. වහාම පූසා අල්ලා ගන්නට මා ඉදිරිපත් වුවද ඌ මා හටද දත් විලිස්සා පැන දුවන්නට විය. වැඩ කරන අතරතුර පැමිණි ඒ මාමා කිසිවක් නොදන්නා නිසා නිසලව බලා සිටින්නට විය. මා කෑ ගසා මේ පූසා හපනවා යි කියමින් නැවත සුද්දා අල්ලා ගන්නට දුවන්නට වීමි. වහාම කියාත්මක වූ සුද්දා ඒ මාමාගේ කකුල වෙත පනිමින් හපන්නට විය. බිය වූ ඔහු අත රැදි පිහියෙන් පූසාට ගැසීය. මා ඉදිරියේම සුද්දාගේ බෙල්ලට පිහි පහරක් වැදුණි. ලේ විසිරැණු අතර සුද්දා බිමට ඇල වුණි. කරන්නට කිසිම දෙයක් ඉතිරි නොවන්නට තරම් සුද්දාගේ බෙල්ල කැපී ගොස්ය. ලේ විලක් මැද සුද්දා අවසන් හුස්ම හෙලමින් සිටියේය. මා ලේ වැගිරෙන සුද්දා උස්සා දෝතට ගෙන නිවසට පැමිණෙන විට මා අතේදීම සුද්දා නිසොල්මන් විය. බාගෙට පියවී තිබූ ඇස් දෙක මා වෙත යොමු වී තිබුණී. ඒ නෙත් දුටු මා නෙත් තෙත් වන්නට විය.
අහිංසක පූස් සුරතලෙකු වූ සුද්දාගේ මෙම අසාමාන්‍ය හැසිරීම අදටද මා සිත කුතුහලයෙන් පුරවාලයි. අදටද මා එම අසාමාන්‍ය හැසිරීමට හේතුව දන්නේ නැත. නමුදු බොහෝ දෙනා මේ පිළිබද විවිධ අදහස් පළ කළෝය. ඇතැමුන් කීවේ නිවසට කවුරැන් හෝ පැමිණි විට ඌට ආදරය නොලාබේයැයි බියෙන් මෙලෙස හපා කන්නට ඇති බවයි. තවත් සමහරැන් කීවේ මිය ගිය තැනැත්තෙකු නිවසේ සිටි පූසාට ආරෝපණය වී පහර දෙන බවයි.
කෙසේ හෝ සුද්දා නිවසේ සිටි කාලයේ මිදුලේ සිට පූසා ඉන්නවද යි අසා පැමිණි අමුත්තන් අදටද නිවසට පැමිණෙන විට පූසා ඉන්නවාදැයි අසයි. එවාට මා හට අවසන් වරට දුටු සුද්දාගේ බාගෙට පියවී තිබූ අහිංසක කොළ පාට ඇස් දෙක මැවී පෙනේ.
  
                                                                        සුවිනි ඉන්දීවරී හෙට්ටිආරච්චි

Thursday, May 17, 2018

පාසල් මිතුරියේ


පාසල් මිතුරියේ...
එක වසරේදි අපි
එක මේසෙ එක ළග පුටු දෙකක
අකුරු කළ චිත‍්‍ර ඇදි සිනා වුණු
මතක ගොඩ
කුඬේ අමතක වූ එදා මහ වැස්සෙ
තෙමි තෙමී දිවූ හැටි ගෙදර
මග දිගට ළමයින්ට
වුණා පිස්සෝ අපි දෙපල
ඒ පිස්සුව පස්සෙ දෝරෙ ගිය හිනාව
දනී නම් උනුත් දුවනවා මහ වැස්සෙ
වසරෙන් වසරට ගියත් අපි දෙන්න
එක පේලයේ එක ළග පුටු දෙකේ
කොණ්ඩෙ වැවුනේ උස ගියේ
ලොකු උනේ අපි එකට
උඹ රයිගම මම ගම්පොල
ජාඩියට මූඩියට
කෑගැහුවේ ළමයි අපි නෙවෙයි සැලුනෙ
මතකයි එදා අද වගේ
පාන්දරම රැුකි උඹෙ මුනිවත
කීවේ ලොකු කතාවක්
කදුළු පිරුණු උඹේ දෑස
ඇසුවා මම ගමත් මාත් ඉස්කෝලෙත් අතහැර
යන්න සැරසෙන බව උඹ
පි‍්‍රයේහි විප‍්‍රයෝගය දරා ගනු බැරි මා
නෙත කදුළු දුටුවෙ නෑ උඹ
කියන්නට බැරි වුණත්
දෙතොල වෙව්ලද්දින්
කීවා හිත හෙමින්
අමතක නොකරපන් මේ පිස්සි

                            (සුවිනි ඉන්දීවරී)

Wednesday, January 31, 2018

‍පොල් ගෑම




මේ පොල් මිල කාළේ පොල් ගෙඩිය රත්තරන් වගේ. මේ කියන්න යන්නෙ පොල් ගෑමක් ගැන තමයි. කැම්පස් ආපු අලුතම තෙල් බැම්මෙදි අයිය කෙනෙක් නවත්තගත්ත මායි මගේ යාළුවයි. යාළුවට කතා කළා තව අයියෙක්. ඉතිං අපි නතර කර ගත්ත අයිය අම්මෝ පශ්න ලෝකයයි. ඒ වගේ ශ්න පතයක් නම් මට ආයෙ හම්බුන් නෑ. මට මතකයි දහම් පාසල් ගියාද කියලත් ඇහුව. ඊට පස්සෙ ඇහුව කොක්ක? මම සද්ද නෑ. කොක්ක ගමේද? මම බිම බලා ගෙන. කියපං කොක්ක ගමේද මෙහේද? මම හිමීහිට දෙපැත්තට ඔළුව වැනුව. ඈ බං කොක්කක් නැද්ද? මොනවද බං කළේ අවුරැදු දහ තුනක් ඉස්කෝලෙ ගිහිං පොල් ගෑවද? ඇත්තටම මටත් එතකොට තමයි හිතුනෙ අම්මෝ අවුරැදු 13 ක්ම මොනවද කළේ කියල. ආයෙ මතක් වුණා අවුරැදු ගානක් යනකම් අපි පුංචි ළමයිනෙ කියල. පොඩි ළමයින්ට අම්මල පොල් ගාන්න දෙන්නෙ නෑනෙ. මං ඉතිං ටිකක් ලොකු උනාම ඒ අය්ය කිව්ව වගේ පොල් ගෑව අම්මට කරන ලොකුම උදව්ව විදියට. 

පොල් ගෑම තාම ඉවර නෑ. මේ ළගදි ගෙදර ගියාම දන්නැද්ද ඉතිං නෑදෑයින්ට යාළුයන්ට ගමේ අයට දැන ගන්න ඕන දේවල්. එයාල අපි ගැන කොච්චර වදවෙනවද? කොහොම හරි නෑදෑයො කට්ටිය සෙට් වෙලා ඉන්න වෙලාවක පිත්තල පහන් ගැන කතා කර කර ඉදල බුලත් හෙප්පුවක් මතක් වුණා එක්කෙනෙක්ට. දැන් තමයි ඔන්න රසවත්ම මාතෘකාවට බැස්සෙ. ආ දැන් ඉතිං බුලත් හෙප්පුවක් නැත්නම් බුලත් වට්ටියක් හරි අල්ලන්න කාළෙ හරි. නැත්නම් අවුරැදු 3 ක් තිස්සෙ පොල් ගෑවයි?
එතකොට මම "අම්මෝ පොල් ගෑම.. අවුරැද්දක්ම පොල් ගෑවනේ. අපේ රෑම් එකේ එකෙක්වත් පොල් ගාන්න කැමති නෑ. ඉතිං මට මයි පොල් ගාන්න උනේ." 1 year එකේදි හොස්ටල් එකේ උයන්න දුන් නෑ. 2 year එකේදි උයන්න දුන්නත් වලං පිගං තියා හැරෙන්නවත් ඉඩ තිබුණෙ නෑ ඒ කාමරවල. 3 year එකේදි තමයි කට්ටිය හා හා පුරා කියල උයන්න ගත්තෙ..
ඉතිං මම ගාන්ට හිරමනෙත් අරගෙනම ලිස්සල ගියා. දුක් වෙන්න කාරි නෑ තව අවුරැද්දක්ම තියනව පොල් ගාන්න. 
                                                                             (සුවිනි)