Tuesday, April 7, 2020

වන්දනාවක මිහිර



පුතේ මං මේ කොත්තමල්ලි එක හදනකං පුංචි මාමාලගෙ ගෙදරින් බුලත් කොළ දහයක් විතර කඩා ගෙන එන්න. ඊට පස්සෙ වතුර බෝතල් දෙකත් පුරවල ගන්න.
මං දුවෙක් වුණත් අම්ම කතා කරන්නෙ මට පුතේ කියල. ඒ දවස්වල මල්ලි නිතරම ලෙඩ වෙනව. නිතරම ඉස්පිරිතාලෙ එක්කන් යන්න වෙනව. අම්මයි මමයි සතියට දවස් දෙක තුනක් හැන්දෑවට දොළේ පන්සලට යන්න පුරැදු වෙලා හිටිය. දොළේ පන්සල කිව්වට ඇත්තටම හාමුදුරැවරැ වැඩ සිටින විහාරස්ථානයක් නොවෙයි. වෙහෙර විහාර තිබුණෙ නෑ. නිතරම සිල් කඩල සතර පෝයට සිල්ගන්න, කළු සල්ලි හොයල සුදු ඇදුමින් සැරසිල පන්සලට යන සිල් ඇත්තන්, සැදැහැවතුන් හිටියෙ නෑ. පන්සල අපේ කියා ගෙන කටයුතු කරන දායක සභාවක් හිටියෙත් නෑ. දොළේ පන්සලට තිබුණෙ ලොකු බෝධියකුයි, වට කරල තිබුණු බෝධියට ඉදිරිපසින් වැඩ සිටින අඩි දෙක හමාරක් විතර උස බුදු පිළිමෙකුයි විතරයි. තව වදින්න එන අයට මල් පහන් සූදානම් කරගන්න පොල් අතු සෙවිලි කරපු මැටි ගහල හදපු පොඩි මඩුවක් තිබුණ. හැන්දෑවට කීපදෙනෙක් ඇවිත් බෝධිය නාවල පූජාවක් කරල, නවග්‍රහ ශාන්තිය කියල තම තමන්ගේ අයට තියෙන ග්‍රහ අපල දුරැවෙන්න කියල බෝධියෙ පඩුරක් එහෙම ගැට ගහල යනව.
අම්ම කතා කරන සැණින් මං ලෑස්තිවෙන්නෙ වදින්න තියන ආසාවට නම් නෙවෙයි. බෝධිය ළගට යන්න තියන ආසාවට. එතනට යන ගමනම මට භාවනාවක් වගේ. බෝධිය නාවන්න අම්මටයි මටයි පොඩි කල ගෙඩි දෙකකට සෑහෙන පැන් සහ මල් වට්ටි සෝදන්න, ගිලන්පස සමග තබන පැන් වීදුරැවට, මල්වලට පැන් ඉහින්න පෙරා ගත්ත වතුර බෝතල් දෙකක් ගෙනියන්න ඕන. කව්රැ හරි කෙනෙක් මල්වලට පැන් ඉහින්න ඉවරවුණු පවුඩර් බෝතලයක් ගෙනත් තියල තිබුණ. වදින්න එන හැමෝම පැන් බෝතල් දෙකක් අරගෙන එනව.
ගෙදර තියෙන වතුසුදු, රෝස මල් පිපිල තිබුණොත් රෑට ගෙදර බුදු පහන තියන්න මල් දෙකක් ඉතුරැ කරල මල් නෙලාගෙන ගිලන්පස පොඩි බෝතලේකට දාගෙන බුලත් පුවක් කඩදාසි කොළේක දවටගෙන හදුන්කූරැ පෙට්ටියයි පොල් තෙල්, පහන්තිර, ගිනිපෙට්ටිය අවශ්‍ය කළමනා ටික දාපු මල්ල මට දීල, වතුර බෝතල් දෙක බර නිසා අම්ම ඒක අරගෙන හවස තුන හමාරට විතර මං පොඩි කාලේ කැමතිම ගමන යන්න පිටත් වෙනව. අමතක නොකර ගිනිපෙට්ටිය අරගෙන ගියත් හැමදාම අපි යනකොටත් අපිට කළින් වැදපු අය පත්තු කරපු පහනක් දැල් වෙවී තිබුණ. කන්ද නැගල පාරට ගියාම ඉස්සෙල්ලම උඩවත්ත ගේට්ටුව ළග රැක් අත්තන පිපිල. කහපාටට මල් පිපිල තියනකොට ඔක්කොම මල් කඩාගන්න හිතෙනව.
ඔය ඇති. යං රෑ වෙනව. කියල අම්ම අඩි කීපයක් යනකල්ම මං තව මල් කඩනව. ඇත්තටම උඩවත්ත කියන්නෙ ලොකු වත්තක්. එහේ ඉස්සර හිටපු හාමුල හරි හොදයි කියල ආත්තම්මා නිතරම කියනව. ඒ වත්තෙ නැති පලතුරක් නෑ. වැඩිපුරම තියෙන්නෙ රබර් වගාව. උඩ වත්තෙ හිටපු හාමුල ඉඩකඩම්, ගෙවල් දොරවල් විකුණලු කොළඹ ගිහිල්ල. ඉතින් එහෙන් පෝෂණය වුණු බල්ලො ටික අපේ ගෙදරට එන්න පුරැදු වුණා. මට මතකයි ඉස්සරම බල්ලො හත් දෙනෙක් අපේ ගෙදර හිටිය. ඔය අතරෙ වල්ගෙ කොට කිංකියෙක් හිටිය. ඒ කික්කිගෙ පරම්පරාව අවුරැදු ගාණක්ම පැවතුණා. උගේ පැටවුන්ගෙත් වල්ග කොටයි. බෝධිය ළගට එන හැමෝම විෂ්ණු දෙවියන්ට නිල් මල් වට්ටියකුයි කතරගම දෙවියන්ට රතු මල් වට්ටියකුයි හදනව. රතු නැන්දලයි වැට දිගට ගියපු කටරොළු වැලෙන් කටරොළු මලුත් කඩාගෙන සීතා නැන්දගෙ කඩේ ළග තියෙන දාස් මල්, මල් ඇති දරැවො දැන් කියල අම්ම කිව්වත් තව මල් දෙක තුනක් හරි මං කඩා ගන්නව. කඩේ ඉස්සරහ බලන්න ලස්සනයි. ඔක්කොම අඹ දාස්. දැන් තමයි ගමනෙ සුන්දරම කොටස පටන් ගන්නෙ. සීතා ඇන්ටිගෙ කඩේ ළගින් වම් පැත්තට වෙන්න පොඩි අඩි පාරක් තියනව. අඩි පාරෙ දකුණු පැත්තෙන් දොළ පාර. ඊට එහායින් කුඹුරැ යාය. වම් පැත්තෙ කැළේ. කැළේ එරමිණිය ගස්වල එරමිණිය ගෙඩි පිරිල. අතරමගදි වෙරළු ගස් දෙකක් හම්බවෙනව. එකක් පොල් වෙරළු. අනිත් එක හීන් වෙරළු. මම වෙරළු ගහ පැත්තට හැරෙනකොට, එනකොට ඇහිදිමු. දැන් වෙලාව නෑ කියල අම්ම කිව්වට ගෙඩි දෙකක් එතකොටත් කට ඇතුලට ගිහින්. හීන් වෙරළු ගහ ළගම හීන් මුත්තගෙ පැල් කොටේ. පැලට පිටිපස්සෙන් එළවළු කොරටුව. දඹල, මෑ කරල් කොරටුව සාරයි. හීන් මුත්ත නම් කියන්නෙ රෑට වල් උෟරන්ගෙන් බේරගන්න එකලු අමාරැම. ආහ් මේ අක්කයි නංගියි වදින්න යනව වගේ. හීන් මුත්ත හැමවෙලාවෙම හිනා වෙලා ඉන්න මනුස්සයෙක්. හීන්දෑරි ශරීරයක් තිබුණට කඩියා වගේ වගා කටයුතු කරන්නෙ.
දැන් හදුන්කූරැ සුවද දැනෙනව. අපිට කළින් කීප දෙනෙක් ඇවිත් මල් පූජා කරල තියනව. පොල් තෙල් පහනත් නිවිල නෑ. මගේ ලොකුම රාජකාරිය මල් වට්ටි හදන එක. එකක් බෝධියට, එකක් බුදු පිළිම වහන්සේ ළගට, රතු මල් වට්ටියයි නිල් මල් වට්ටියයි දෙවියන්ට. අම්ම ඒ අතරෙ පීරිසි කෝප්ප හෝදල දැහැත් විට, ගිලන් පස, පැන් තියල බෝධිය නාවන්න පැන් කළ දෙකකුත් සූදානම් කරල. ලොකු පැන් කලේ අම්මට. පොඩි පැන් කලේ මට. මං වතුසුදු මල් දෙකක් පැන් කළ දෙකටත් දානව. මල් පහන් තිබිය යුතු තැන්වලින් තියල පැන් කල දෙකත් අරගෙන බෝධිය වටේ තුන් වරක් ගිහිල්ල බෝධිය නාවනව. බෝධිය වටේටම නාවන්න කලින් පැන් කලේ ඉවර වෙයිදෝ කියල සැකේට පැන් පොඩ්ඩ පොඩ්ඩ බෝධියෙ මුල්වලට දාන්න මං වග බලා ගත්ත. ඊලගට මඩුවෙ උඩ ලණු පොටවල් දෙකක් මැද්දෙ එල්ලල තිබුණු පන් පැදුරක් අරන් අම්ම බෝධිය ඉස්සරහින් එලනව. ඒ දවස්වල මල්ලිට තමයි වැඩිපුර අපල තිබිල තියෙන්නෙ. මල්ලිට විතරක් බෝධි පූජා තියනව කියල මට පොඩි ඉරිසියාවකුත් තිබුණ. ඒත් නවග්‍රහ ශාන්තිය කියන වෙලාවට අම්ම, අරහං බුදු ගුණෙන් පුතාගෙ සිකුරැ අපල දුරැ වේවා කියද්දි මම අරහං බුදු ගුණෙන් මල්ලිගෙ සිකුරැ අපල දුරැ වේවා කියල කියනව. අම්ම, පුතාගෙ සහ පුතාට කියන තැන්වලට මම මල්ලිගෙ, මල්ලිට කියල එකතු කරනව. ඒත් සමහර වෙලාවට වැරදිලා මාත් පුතාගෙ අපල දුරැවේවා කියලත් කියනව. වැදල ඉවර වුණාම අම්ම පොඩි වෙලාවක් භාවනා කරනව. මාත් ඇස් දෙක පියාගෙන භාවනා කරනව වෙනුවට දොළේ වතුර ගලන හඩ අහගෙන ඉන්නව. හඩ අහගෙන ඉදල මදි. මම යනව දොළ ළගට. මාගේ අඩි සද්දෙට වතුරෙන් ඔළුව දාගෙන හිටපු ඉබ්බෙක් කම්මැලිකමෙන් වතුර යටට යනව. බෝධිය කිට්ටුව තැන් දෙකකට ඒදඩු දාල තිබුණ. එකක් පරණයි. ඒකෙ කොට දිරපු නිසා පාවිච්චි කරන් නෑ. ඒදණ්ඩ උඩට ගිහින් කෙළ පාරක් ගැහුවම මාළු රෑනක්ම උඩට එනව. ඒදණ්ඩෙ අත්වාරැවක් තිබුණෙ නෑ. කොට දෙකක් විතරයි තිබුණෙ. ඒදණ්ඩ ළගම ලොකු රැක් මල් ගහක් තිබුණ. රැක් මල් සුවදයි ඒ පළාතම. රැක් මල් සුවදෙ ඒ දණ්ඩ උඩ වාඩි වෙලා මාළු දිහා බලන් ඉන්න මට පුදුම ආසාවක් තිබුණෙ. අම්ම පූජා කරපු ගිලන්පසවලට කොඩයො, කූඹියො එන්න කලින් අස් කරල හෝදල අයින් කරනව. මල් පහන් එහෙමම තියනව. මල් අස් කරන්නෙ ඊළගට වදින්න එන අය. ඒ අස් කරන මල් මඩුව පිටිපස්සෙ එකතු වුණා. එතනින් ආවෙ අමුතුම සුවදක්. අලුත් මල්වල සුවදත්, පරණ මල්වල සුවදත්, මල් වර්ග කීපෙක සුවදත් කලවම් වෙලා අමුතුම සුවදක් එතන තිබුණ. මං හැමදාම ගෙදර එනකොට එතනින් පර වුණු දාස් මල් ගොඩක් අරන් එනව පැළ කරන්න.
දැන් කළුවර වැටීගෙන එනව. අපි එන වෙලාවට හීන් මුත්ත වැඩ ඉවර කරල පැලට ඇවිත් බුලත් විටක් කන වෙලාව. මං ඊයෙ හැන්දෑවෙත් දැක්ක නාග රාජයා. අම්මෝ උගෙ ලස්සන. අපෙන් කරදරයක් නැත්නම් උගෙන් කරදරයක් නෑ අපට.. බුලත් කොලේ පිහිදල අරන් කොලේ නැට්ටයි අගිස්සයි කඩන ගමන් නාග රාජයගෙ විස්තරේ කියනව. කරැංකා ගෙඩියෙ ලෙල්ල අයින් කරල ගිරෙන් හීනීයට ලියල දුම්කොල කෑල්ලකුත් එක්ක බුලත් කොලේ මැදින් තියල හතරට පහට නමල කටේ දාගෙන දබරඇගිල්ලට හුණු පොඩ්ඩක් අරගෙන බුලත් කහටටම කළු පාට වෙච්ච යටි ඇන්දෙ දතක රදව ගන්නෙ හරිම සීරැවට. බුලත් විට කටේ කියාගෙනම රෑ බෝ වෙන්න ළගයි හොදට පාර බලා ගෙන යන්න ඕන..සත්තු සර්පයො එළියට එන වෙලාව.කියල හීන් මුත්ත කට බුලත් විටෙන් පිරිච්ච නිසා බොහොම අමාරැවෙන් කියනව.
දැන් වෙරළු ගහ කිට්ටුව. වෙරළු ඇහිදින්න වෙලාවක් නෑ.කරැවල වැටී ගෙන එනව.හෙට ටිකක් කලින් ඇවිත් ඇහිදිමු. ඇත්තටම හීන් මුත්ත කියපු නාගරාජයා පාරෙ ඉදල පෑගුණොත් කියල බයට අම්මගෙ පිටිපස්සෙන් හොදට බිම බලන් මම එනව. ඒත් කවදාවත් මං ඒ පාරෙ නයෙක් දැක්කෙ නෑ. ඒත් මේ පාරෙ යන කීපදෙනෙක්ම නාග රාජයෙක් දැකල තිබුණ. හිත පිරෙන්න වෙරළු ඇහිදගන්න බැරි වෙච්ච දුකට එන ගමන් අතේ දුරින් තියන කිරිල්ල පොකුරක් කරඹ ගෙඩියක් කඩා ගෙන ගෙදරට එනකල්ම කකා ඇවිත ඉතුරැ වුණු කරඹ ගෙඩි දෙකක් විතර මල්ලිටත් දෙනව.
****************************************************
හීන් මුත්ත නැති වෙලා දැන් අවුරැදු ගාණක් වෙනව. දැන් ඒ පැල තිබුණු තැන හොයන්නවත් නෑ. දොළේ පන්සලට දැන් ඉස්සර වගේ ගමේ අය යන්නෙත් නෑ. එහෙම තැනක් තිබුණු කියල ගමේ අයට මතකෙකුත් නෑ. දැන් අර වෙරළු ගස් දෙකම නෑ. කැළෑ කුට්ටිය එළි කරල. ඒ ඉඩම පෞද්ගලික සමාගමකින් මිලට අරගෙන.දොළ පාර ඉස්සර වගේ ලස්සන නෑ. දැන් ඇළ පාරක් වගේ. පුංචි වතුර පාරක් අමාරැවෙන් ඇවිදින මහල්ලෙක් වගේ හෙමින් ගලාගෙන යනව. මාළු රංචුවලට මොනව උනාද කියන්න දන්නෙ නෑ. දොළේ වතුර අඩු වෙද්දි දොළ ගිහින් නතර වෙන පහළ වැවට මාළු පැටව් ගියා කියල හිතන්න පුළුවන්. ඒත් වැවේ ස්ථිර පදිංචිකරැවන් වෙන කොරළින්ගෙන් අනවසර පදිංචිකරැවන්ට හිරිහැර වුණාද දන්නෙ නෑ. කොහොම වුණත් පුංචි කාලෙ ඒ පාර එක්ක ඒ පරිසරය එක්ක බෝධිය එක්ක තිබුණු මතක අදටත් ගෙනෙන සුවය සැනසීම පුදුමාකාරයි. 

සුවිනි ඉන්දීවරී හෙට්ටිආරච්චි

Sunday, August 4, 2019

ජීවිතය





මේ මගේ උපන් ස්ථානය. ඒ කියන්නෙ මේ ගෙදර පිටිපස්සට වෙන්න ටිකක් දුරින් තියන මඩුවෙ තමයි ඉපදුණෙ. ඒක හරිම වේදනාකාරී බියමුසු මෙලොව එළිය දුටු රැයක්. එදා හොදටම වැස්ස. මඩුවෙ බිම තෙත් වෙලා. අම්ම වලක් හාරල තිබුණත් වහලෙ තිබුණු සිදුරeවලින් වතුර වැටිල බිම තෙමිල. ඒ වගේම හුළං පොදත් වදිනවා. අම්මගෙ උණුහුම නිසා බොහොම අමාරeවෙන් ජීවිතේ බේරගත්ත.
මට හිටිය තව සහෝදරවරe දෙන්නෙක්. මම තමයි අම්මට හිටිය එකම දූ. පුතාල දෙන්නෙක් එක්ක එකම දූ වෙලා ඉපදුණු එක මං හිතුවෙ මගේ වාසනාවක් කියල. අපි මඩුව ඇතුළෙම ටික ටික ලොකු වුණා. දැන් අපිට ඇවිදින්න පුළුවන්. බත් කන්නත් පුළුවන්.
මම ඉපදුණු දර මඩුව අයිති ගෙදර අපේ අම්ම ඉපදුණු ගෙදර නෙවෙයි. අම්මට ගෙවල් කීපයන්ම තිබිල තියනව එක එක කාලවලදි. අපි හම්බ වෙන්න ළං වෙද්දි තමයි අම්ම මේ දර මඩුවට ඇවිල්ල තියෙන්නෙ. ගෙදර අය දර මඩුවට යන්නෙ කලාතුරකින්. වැස්සට තෙමුණත් දර මඩුව අපිට සුවදායි කරදරයක් නැති ස්ථානයක් වුණා.
දවසක් අම්ම කෑම හොයා ගන්න ගිහිල්ල. අපි තුන්දෙනාට හොදටම බඩගිනියි. ගියා ඈතින් පේන ගේ පැත්තට. ගෙදරට ළං වෙද්දි ආව කරවල බදින සුවදක්.
අනේ ෂෝක් බලු පැටව් තුන් දෙනෙක්. මේ බලන්නකො හරිම ලස්සනයි. අර අර කළු පාට පැටියගෙ ලෝම දිගයි. ඌ හරි ලස්සනයි.
කළු පාට ලෝම දිගට තිබුණෙ මගේ. ඉතිං මම ටිකක් ආඩම්බරයෙන් වලිගෙ වැනුව. අපිට එදා හොද කෑම වේලක් ලැබුණ. දර මඩුවෙන් අපි ගෙදරට සංක්‍රමණය වුණා. ටික ටික අපි ලොකු වුණා.
ලස්සන බලු පැටව් තුන් දෙනෙක් අපි හොය හොයා හිටියෙ පැටියෙක්. දෙනවද අපිට?
ගෙනියන්න. අපේ ගෙදරට ඔය කොහෙන්දෝ ඇවිල්ල. කන්න දෙන නිසා නතර වෙලා.
කළු පාට එකා ලස්සනයි. ඒත් බැල්ලියෙක් නෙ. අරං ගිහිල්ල බෑ. අනිත් දෙන්නම ගෙනියන්නම්.
ඒ අය අයියල දෙන්න හරිම ආසාවෙන් අරන් ගියා. ඒ දෙන්නට අලුත් ගෙදරක් කරeණාවන්ත හාම්පුතුන් හම්බ වෙන්න ඇති. මට හොදටම පාළුයි. දැන් සෙල්ලම් කරන්න කෙනෙක් නෑ. මම දැක්ක රෙදි වැලේ වනපු ඇදුමක් බිමට වැටිල තියනව. ඒක නම් සෙල්ලම් කරන්න හොද සෙල්ලම් බඩුවක්. මම ඒක ටිකක් හපල හොදට සෙල්ලම් කළා.
අයියෝ මගේ අලුත්ම ටී ෂර්ට් එක මූ කාලා...
වරදට සමාව වෙනුවට දඩුවම් හිමි වුණා. ආදරේ අඩු වුණා. ඒත් මට සෙල්ලම් කරන්න ඕන. හරිම පාළුයි. ගෙදරට කව්ද කට්ටියක් ඇවිත්. මං හිතන්නෙ ගෙදර ඉන්න අක්කගෙ යාළුවො. සෙරෙප්පු කූට්ටම් කීපයක්ම දොර ළග තිබුණ. එකක් ගත්ත නම් සෙල්ලම් කරන්න පුළුවන්.
බලන්න අම්මේ මේ බලු පැටියා අයේෂගෙ සෙරෙප්පුවක් කාලා. දැන් දා ගෙන යන්න එකක් නෑ.
දැන් හැමදාම වගේ බැනුම්. ආදර සැලකිලිත් නැති තරම්.
මූ නම් පුදුම වදයක්. ගෙදර තියාගන්න නම් බෑ. බැලි කික්කියෙක් මොකට හදනවද?
දවසක් මහ රෑ මම උස්සල කාඩ්බෝඩ් පෙට්ටියක් ඇතුළෙන් තිවුව. ඇතුළ හොදටම කළුවරයි. මොකුත්ම පෙණුනෙ  නෑ. වාහනයක යනව වගේ මට දැණුන.ගොඩක් දුර ගියා. වාහනය නතර වුණා. මාව උස්සල බිමින් තිව්ව. හුරe පුරeදු නැති පරිසරයක්. ඊට පස්සෙ මට බත් ටිකක් ලැබුණ. බඩගින්නෙ හිටිය මම ඒක කාලා ඉවර වෙද්දි වාහනය ගිහින්.
මම හොදටම බය වුණා. හරිම සීතලයි. මොකක් කරන්නද කියල මට හිතා ගන්න බැරි වුණා. අහල පහල ගෙයකුත් නෑ. අවසානයේ වාහනය ගිය පැත්තට යන්න මං තීරණය කළා.
දැන් කළුවර නෑ. ඉර පායගෙන එනව. බඩගින්නකුත් එනව. ඇවිදගෙන ගොඩක් දුර ආපු නිසා හොදටම මහන්සියි. ඉස්සරහින් කෑම කඩයක් පේනව. හොද සුවදකුත් එනව. එක එක ජාතියේ කෑම වර්ග වීදුරe කබඩ් එකක දාල තියනව. මටත් එකක් දෙයි කියල කඩේට කිට්ටු වුණා විතරයි කොහු පාරක් වැදුණ හරියටම පිට මැදට. මම කෑ ගහ ගෙන දිව්ව.
හරිම නරක මිනිස්සු ටිකක්. ආයෙත් කන්න මොනව හරි හොයාගෙන මම ඇවිදගෙන ගියා. පාර අයිනෙ බනිස් ගෙඩියක් තිබුණ. කූඹි වහල තිබුණත් මම එක කටටම ඒක කෑව. කොහොම හරි ගෙදර හොයාගෙන යන්න ඕන. අම්ම මාව හොයනව ඇති. මගේ වර්ගයේම නැන්දල මාමල අයියල කීප දෙනෙක් ඈතින් ඉන්නව. මට හරි සතුටක් දැණුන. ඒත් මම එයාල ළගට කිට්ටු වෙනකොට ගොරවගෙන මගේ ඇගට පැන්න. බයවුණු මම පිටිපස්ස නොබලම දිව්වා.
පාර අයිනෙ නිදා ගෙන රැයක් ගත කළා. උදේ පාන්දරම ගෙදර යන ගමන ආරම්භ කරන කොට වූටිම වූටි පූස් පැටව් දෙන්නෙක් පෙට්ටියක් ඇතුළෙ ඉන්නව දැක්ක. එයාලත් මං වගේම වාහනයකින් එන්න ඇති. පෙටිටියෙන් එළියට ඔළුව දාල එයාල හයියෙන් කතා කරනව අම්මට. අම්ම කෙනෙක් නම් කිට්ටුව පාතක හිටියෙ නෑ.
ඔහොම ඉදල නම් කෑම ලැබෙන්නෙ නෑ. මම වගේ ඇවිදින්න ඕන. මම එයාල දෙන්නට කිව්වා.
එදා පෝය දවසක් වෙන්න ඇති. ගොඩක් අය සුදු ඇදගෙන පන්සල පැත්තට යනව. මට කැමති කවුරe හරි කෙනෙක් මාව ගෙදර එක්කන් යයි කියල මම එයාල පිටිපස්සෙන් ගියා.
මෙන්න නකුටු බල්ලෙක් පස්සෙන් එනව. එලවන්න එලවන්න නැත්නම් ඒවි ගෙදරටම.
හැමෝම මට ගල් ගහන්න ගත්තා. ගල් පාරක් වැදුණ කකුලකට. තවමත් ඒ කකුල බිම තියන්න බෑ. දැන් මම ඉස්සර වගේ ලස්සන නෑ. මහත නෑ. ඇග පුරාම දූවිලි, කුණු, මැක්කො පිරිල. තුවාල හැදිල. කකුල් තුනකින් යන්නෙ. මගේ අවාසනාවට මට කැමති කවුරeවත් හම්බ වුණේ නෑ. ඒත් මගේ වාසනාවට කඩයක් ළග ඉදිල අම්ම හම්බ වුණා. මට දැණුන සතුට කියාගන්න බෑ. අම්මටත් සතුටුයි.
අපි දෙන්න එනකොට කඩයක් ළග හිටිය මගේ පාටම සීයා කෙනෙක්. එයාට හොදටම වයසයි. ඇවිදින්නෙත් හරි අමාරeවෙන්. එයා පාර පනින්න හදනකොටම වේගෙන් ආපු වෑන් එකක් එයාගෙ ඇගේ හැපුණා. එයා ආයෙත් නැගිට්ටෙ නෑ. අපේ හුස්ම ඕනම වෙලාවක නතර වෙන්න පුළුවන් කියල මට හිතුණා. පාර ජීවත් වෙන අපි කොච්චර අසරණද?
අම්ම මාත් එක්කගෙන අපි හිටිය ගෙදරට ආව. එතකොට ගොඩක් රෑ වෙලා. මේ දවස් ටිකේම බඩ පිරෙන්න කෑමක් ලැබුණෙ නෑ. පුංචිම පුංචි පාන් කෑල්ලක්, නරක් වුණු බත් ටිකක් වගේ දේවල් තමයි කන්න ලැබුණෙ. ගෙදර දොර වහල තිබුණෙ. බඩගිනි වැඩි වුණත් කියන්න විදියකුත් නෑ. දොර අරිනකම් අපි දෙන්න දොර ළගට වෙලා හිටිය ඉස්සර වගේ කන්න මොනව හරි ලැබෙයි කියල. දින ගණනක් ගෙදර හිටියෙ නැති මම දැකල ගෙදර සතුටු වෙයි කියල හිතුණා.
සීතලට ගැහි ගැහි හාමත් වෙලා හිටපු මට හොදටම නින්ද ගියා. උදේ පාන්දර දොර ඇරෙනවත් එක්කම මට වඩා පස් ගුණයක් විතර ලොකු බල්ලෙක් මගේ ඇගට පැනල මගේ බෙල්ලෙන්ම අල්ල ගත්තා. ඉතිරි වෙලා තිබුණු ශක්තිය ඔක්කොම එකතු කරන් පුළුවන් උපරිමයෙන් මම කෑගැහුව. ඒත් දෙපාරක් කෑගහන්න මට බැරි වුණා. 

සුවිනි ඉන්දීවරී හෙට්ටිආරච්චි

Monday, March 11, 2019

වන අරණක සුව දවසක්





කන්නෙලියේ යන්නට මට අවස්ථාවක් ලැබුණේ අහම්බයෙනි. කෙසේ හෝ කන්නෙලියේ ගිය පළමු ගමන විටෙක විනෝදජනක හා ත්‍රාසජනක වූ අත්දැකීමක් මෙන්ම බොහෝ දැනුම එකතු කර ගන්නටත් හැකි විය. වනය තුළට පිවිසෙන විට අපට මාර්ගෝපදේශකවරයෙකුද අපට ලැබුණි. ඔහු ඉතා හොදින් එහි වන ගස් වැල් හා සතා සීපාවුන් පිළිබද අපට කියාදුනි. මෙහි මා සදහන් කරන්නේ ඔහු හදුන්වාදුන් කියා දුන් කන්නෙලියේ දැක ගත හැකි ගස් වැල් පිළිබදවය. මෙම චාරිකාවෙන් ඇතැම් විට අපි කිසිදා අසා නැති ලංකාවට ආවේණික වූ ශාක හා නම් අසා තිබුණත් ඒවායින් ඇති ඵලදායිබව, විශේෂත්ව අප නොහදුනන ශාක වර්ග රැසක්ද දැන ගන්නට හැකි වුණි.
කැලය මැදින් ඉදිරියට යන අපට මාර්ගයේ මැදින් ගමන් කරන්නට උපදෙස් ලැබුණේ දෙපස වන කොළ රොඩු අතර සර්පයන් සිටින්නට හැකි බැවිනි. තවද අඩිය ඉක්මන් කර ගමන් කිරීම ඇගට ගුණ බව අපගේ උපදේශක මහතා පැවසුවේ කූඩැල්ලන්ගෙන් ආරක්ෂා වීමට කළ හැකි උපක්‍රමයක් ලෙසය.
ඉදිරියට යන අප නවතා ඔහු පළමුව අපට හදුන්වා දුන්නේ මහ බදුල්ල ගසකි. මහ බදුල්ල,  ගහෙන් නිකුත්වන කිරි විෂ සහිතය. බදුල්ල ශාක වර්ග 16 ක් කන්නෙලියේ වෙයි. ගොරක දැක තිබුණද ගොරක මද කෑවද ආහාර පිසීමේදී කුළු බඩුවක් ලෙස යොදා ගත්තද ගොරක ගසේ විශේෂත්වය බොහෝ දෙනා නොදන්නවා විය හැකිය. එනම් ඕනෑම ගසක පත්‍ර වියලුණු පසු බිම වැටෙන මුත් ගොරක ගසේ පත්‍ර බිමට වැටෙන්නේ වියලෙන්නට පෙර කොළ පැහැතිවය. පැදුරැ විවීමට යොදා ගන්නා දුනු කෙයියා ශාකයද කන්නෙලියේදී හමුවේ.
ග්රෑම් එකක් රැපියල් 18000-20000 අතර වටිනාකමක් ගන්නා ශාක කොටස් ඇති වල්ලපට්ට ශාකයද කන්නෙලියේදී දැක ගත හැකිය. මෙම ශාකය වටින්නේ ගසේ කද පළුලු වූවොත් පමණි. අපේ මුතුන් මිත්තන් බුලත් කොළ වෙනුවට කෑමට ගත් තපාසර බුලත් නම් ශාකය දැක ගන්නට හැකි වුවත් බුලත් කොළයේ රසයම ඇත්දැයි පරීක්ෂා කරන්නට අවස්ථාව ලැබෙන්නේ නැත.
කන්නෙලිය වනාන්තරයේ වටිනාකම වැඩි කරන්නේ එහි වන දුර්ලභ ශාක විශේෂයන් බව යළිත් අපට සිහිපත් කරන්නට මැන්ඩෝරා ගස සමත් විය. මැන්ඩෝරා කන්නෙලියේ පමණක් ඇති ශාකයකි. ඌරා කැකුණ තලන කොට හබන් කුකුළන්ට මගුල්ලු. මේ ඉගි වැකිය  මතක් වුණේ කැකුණ ගස් හා එහි ඵල දුටු විටය. කැකුණ ගෙඩියේ මදය ඉතා කුඩා වූවකි. ඒ බව නොදන්නා ඌරා ගෙඩියේ සුවදට කැකුණ ගෙඩිය තලයි. ඉන්පසු හබන් කුකුළන් විත් එහි බීජ ආහාරයට ගනී. ඉගි වැකිය අසා තිබුණත් එය නිර්මාණය වන්නට වූ හේතුව දැන ගත්තේ මා කන්නෙලියේදීය.
අපේ රටට ආවේණික වන අමුවෙන් දහනය කළ හැකි ශාකයක් වන හැඩවත හා දකුණු පළාතට ආවේණික වන ඩොන්කා ද කන්නෙලියේ සුරැකිව තිබෙනු දැක ගත හැකිය. ඩොන්කා ඉදුණු විට කහ පැහැති ටෙනිස් බෝලයක් තරම් ප්‍රමාණයේ මැන්ගුස් වැනි රසවත් පලතුරකි. ඒ වාගේම ඖෂයක් සේ ප්‍රfයාaජනයට ගන්නා වල් කුරැදු, කැඩුම් බිදුම් සදහා යොදා ගන්නා බේරැ ශාකයද කන්නෙලියෙන් දැක ගත හැකිය. මෙම බේරැ ගසේ පත්‍ර සෙවිලි කිරීම සදහා යොදා ගන්නා අතර එම පත්‍රවලට අවුරැදු ගණනක් නොදිරා පැවතිය හැකිය. දූරියන් ගෙඩියට සමාන වන වල් දූරියන්ද අපි දැක ගත්තෙමු. මට සිහිපත් වුණේ විශාල රඹුටන් ගෙඩියකි. දූරියන්වලට වඩා රඹුටන්වල මෙන් කෙදි විශාල සංඛ්‍යාවකින් මෙහි ඵලය ආවරණය වී ඇත.
ශාක පිළිබද විපරමින්, හදුනාගනිමින්, ඉගෙන ගනිමින් යන අප කණ්ඩායමට ත්‍රාසජනක අත්දැකීමක් විද ගන්නට හැකි වුණි. ඒ කුමක්ද යත් අප යන මාර්ගයේ දකුණු පසින් පහළට බසින්නට හැකි කුඩා පාරකි. එහි බැස යන විට විශාල ගලක් යටින් ගලා යන කුඩා දිය පහරකි. යළි මාර්ගයට පැමිණීමට ගල යටින් රිංගා යා යුතුය. වවුල් ගද දැනෙන එම ගුහාව අන්ධකාරය. කොදු නමාගෙන රිංගා ආ අප යළි අපි පැමිණි මාර්ගයටම වැටිණි. මාර්ගෝපදේශක මහතා නොසිටින්නට අප යළි ඉදිරියට යනවායි සිතා ආපසු යනු ඇත. දකුණු පසින් පහළට බැස ගමන් කළ මාර්ගයේම වම් පසින් මතු වුණු අප කර ඇත්තේ යන මාර්ගය යටින් ඒ හරහා යෑමය.
ඇට්ටෝනියා අප නිවාස සෑදීමේදී වටිනා දැවයක් සේ ප්‍රfයාaජනයට ගත්තද එය අපේ රටට ආවේණික නොවන ආක්‍රමණශීලී ශාකයකි. කන්නෙලියේ මේ වන විට ඇට්ටෝනියා ගස් මර්දනයට සියලු ගස්වල පොතු කපා ඉවත් කර ගස් වියලෙන්නට හැර ඉවත් කරනු ලබයි. ඇට්ටෝනියා ශාකය පොළවේ ඇති විශාල ජලය ප්‍රමාණයක් උරා ගනු ලබන්නකි. මෙම කාරණය අනෙක් ශාකවල පැවැත්මට බලවත් තර්ජනයකි.
අප පලතුරක් සේ ආහාරයට ගන්නා වෙරළු ශාකයේද ප්‍රfභ්ද රැසකි. ඒවා තිත්ත වෙරළු, ගල් වෙරළු, නිල් වෙරළු ලෙස දැක්විය හැකිය. නිල් වෙරළු අපේ රටට ආවේණික වූවක් නොවේ. තව තවත් කැලය මැදින් ඉදිරියට යන විට අපට මිදි වැලක් හමු විය. අප මිදි යැයි සිතුවද ඒවා වල් මිදිය. වල් මිදි මාබණ්ඩ ලෙසත් හදුන්වනු ලබයි. මේවා ආහාරයට ගත නොහැක. සතුන්වත් ආහාරයට නොගනී. වල් මිදිවලට ආසන්නයෙන් වල් ගම්මිරිස වැලක්ද වේ.
සිංහරාජ වනාන්තරයේ බහුලව දැක ගත හැකි බාදුරා ශාකය කන්නෙලියෙන්ද දැක ගත හැකිය. බාදුරා මල ලෙස අප හදුන්වන්නේ සැබෑ බාදුරා මල නොවේ. අප ඒ දකින්නේ බාදුරා ගොමුව නැතිනම් බාදුරා කෙන්ඩියයි. කක්කල් කැස්ස සදහා බාදුරා ශාකය ඖෂධයක් සේ යොදා ගනී. මීමන ශාක කුලයේ උසම ශාකය වන ගිනිහොට ද අපි දැක ගත්තෙමු. අප දුටු ගිනිහොට ශාකය නම් වඩාත් උස නොවූ පැළයකි. ගිනිහොට ගිනි වටාරම් ලෙසින්ද හදුන්වනු ලබයි.
හල් ශාකය පිළිබද ඔබ අසා නොතිබුණත් ඇතැම් විට හල් පොතු පිළිබද අසා තිබෙන්නට හැකිය. අපේ මුතුන් මිත්තන් තෙලිජ්ජ සකස් කිරීමේදී හල් පොතු යොදා ගෙන තිබේ. හල් පොතු තෙලිජ්ජ සදහා පමණක් නොව හල් පොතු පිටි කර හැලප වැනි කෑම ද සකස් කර ගත හැකිය. නමුත් මෙම හල්පොතු ඉතාමත් තිත්ත බැවින් හල් පොතු රෙදි කැබැල්ලක දවටා ගලා යන ජලයේ ගැට ගසා තැබිය යුතුය. නැතිනම් කිහිප වරක් සෝදා මිරිකා ගත හැකිය. එවිට තිත්ත රස නැතිවී යයි.
හිස කෙස් සදහා වටිනා ඖෂයක් වන ගොඩපර ද කන්නෙලියේ වෙයි. ගොඩපර ගෙඩි ඉදුණු පසු පළතුරකි. තවද පෘථිවියේ මුලින්ම හටගත් ශාකය ලෙස හදුන්වනු ලබන ඕගහාට ද සෙනජිනෙල්ලා ද මෙහි වේ. ඉතා වටිනා ඖෂයක් වන වෙනිවැල්ගැට නැතිනම් බාන්වැල්ගැට වැල් ද කන්නෙලියේ බහුලය. වැනිවැල්ගැට වැලෙහි තැනින් තැන ගැටයක් දැක ගත හැකි අතර එය වැලෙහි වටිනාම කොටසයි. වැලෙහි පෝෂකය ඇත්තේ එහිය.
 කන්නෙලියේ ඉහළට ගමන් කරන සංචාරක සැමට ඉතා සුන්දර වූ දිය ඇල්ලක් නැරඹීමට හැකිය. එය අනගිමළ ඇල්ලයි. මෙම නම සෑදීමට ඉතිහාස කතාවක් ඇත. එනම් ඒ ප්‍රfද්ශයේ එක් ගමක කුඩා ගැහැණු ළමයෙක් වාසය කර ඇත. ඇය මෙම ඇල්ලට නාන්නට ගොස් දියේ ගිලී මරණයට පත් වේ. එතැන් සිට අනගි මැරැණු ඇල්ල පසුව අනගිමළ ඇල්ල බවට පත්ව ඇත. විශාල ගල් තලාවක් මැදින් සුදු පෙණ පිඩු මවමින් කඩා හැලෙන අනගිමල ඇල්ල ඉතාමත් සුන්දර වූවකි. එම පරිසරයෙන් මිදී එන්නට සිත් දෙන්නේ නැත.
අනගිමළ ඇල්ල නරඹා කන්නෙලියේ තවත් ඉහළ ප්‍රfද්ශයක් නරඹන්නට හැකි වුවද අප කණ්ඩාය‍මෙහි කුඩා පාසල් දරැවෝ වූ බැවින් එතැනින් නැවතී යළි ආපසු පැමිණෙන්නට තීරණය විය. පහළට බසින අතරමග ඇල්ලෙන් පහළට වැටෙන ජලය ගලා යන දොළ පහරකින් කන්නෙලිය නරඹන්නන්ට ගතෙහි දාහය නිවා ගත හැකිය. තුරැලතා පෝෂණය කරමින් ගලා යන එම ජල පහර ඉතාමත් සීතල පිරිසිදු වූවකි. සීතල ජලයේ බැස නා දහවල් ආහාරයද ගෙන කන්නෙලියේ පුංචි රවුමක් නිමා කර යළි මා නිවසට ආවේ නැවතත් එහි යා යුතුය යන බලාපොරොත්තුවෙනි. 

සුවිනි ඉන්දීවරී හෙට්ටිආරච්චි