Tuesday, April 7, 2020

වන්දනාවක මිහිර



පුතේ මං මේ කොත්තමල්ලි එක හදනකං පුංචි මාමාලගෙ ගෙදරින් බුලත් කොළ දහයක් විතර කඩා ගෙන එන්න. ඊට පස්සෙ වතුර බෝතල් දෙකත් පුරවල ගන්න.
මං දුවෙක් වුණත් අම්ම කතා කරන්නෙ මට පුතේ කියල. ඒ දවස්වල මල්ලි නිතරම ලෙඩ වෙනව. නිතරම ඉස්පිරිතාලෙ එක්කන් යන්න වෙනව. අම්මයි මමයි සතියට දවස් දෙක තුනක් හැන්දෑවට දොළේ පන්සලට යන්න පුරැදු වෙලා හිටිය. දොළේ පන්සල කිව්වට ඇත්තටම හාමුදුරැවරැ වැඩ සිටින විහාරස්ථානයක් නොවෙයි. වෙහෙර විහාර තිබුණෙ නෑ. නිතරම සිල් කඩල සතර පෝයට සිල්ගන්න, කළු සල්ලි හොයල සුදු ඇදුමින් සැරසිල පන්සලට යන සිල් ඇත්තන්, සැදැහැවතුන් හිටියෙ නෑ. පන්සල අපේ කියා ගෙන කටයුතු කරන දායක සභාවක් හිටියෙත් නෑ. දොළේ පන්සලට තිබුණෙ ලොකු බෝධියකුයි, වට කරල තිබුණු බෝධියට ඉදිරිපසින් වැඩ සිටින අඩි දෙක හමාරක් විතර උස බුදු පිළිමෙකුයි විතරයි. තව වදින්න එන අයට මල් පහන් සූදානම් කරගන්න පොල් අතු සෙවිලි කරපු මැටි ගහල හදපු පොඩි මඩුවක් තිබුණ. හැන්දෑවට කීපදෙනෙක් ඇවිත් බෝධිය නාවල පූජාවක් කරල, නවග්‍රහ ශාන්තිය කියල තම තමන්ගේ අයට තියෙන ග්‍රහ අපල දුරැවෙන්න කියල බෝධියෙ පඩුරක් එහෙම ගැට ගහල යනව.
අම්ම කතා කරන සැණින් මං ලෑස්තිවෙන්නෙ වදින්න තියන ආසාවට නම් නෙවෙයි. බෝධිය ළගට යන්න තියන ආසාවට. එතනට යන ගමනම මට භාවනාවක් වගේ. බෝධිය නාවන්න අම්මටයි මටයි පොඩි කල ගෙඩි දෙකකට සෑහෙන පැන් සහ මල් වට්ටි සෝදන්න, ගිලන්පස සමග තබන පැන් වීදුරැවට, මල්වලට පැන් ඉහින්න පෙරා ගත්ත වතුර බෝතල් දෙකක් ගෙනියන්න ඕන. කව්රැ හරි කෙනෙක් මල්වලට පැන් ඉහින්න ඉවරවුණු පවුඩර් බෝතලයක් ගෙනත් තියල තිබුණ. වදින්න එන හැමෝම පැන් බෝතල් දෙකක් අරගෙන එනව.
ගෙදර තියෙන වතුසුදු, රෝස මල් පිපිල තිබුණොත් රෑට ගෙදර බුදු පහන තියන්න මල් දෙකක් ඉතුරැ කරල මල් නෙලාගෙන ගිලන්පස පොඩි බෝතලේකට දාගෙන බුලත් පුවක් කඩදාසි කොළේක දවටගෙන හදුන්කූරැ පෙට්ටියයි පොල් තෙල්, පහන්තිර, ගිනිපෙට්ටිය අවශ්‍ය කළමනා ටික දාපු මල්ල මට දීල, වතුර බෝතල් දෙක බර නිසා අම්ම ඒක අරගෙන හවස තුන හමාරට විතර මං පොඩි කාලේ කැමතිම ගමන යන්න පිටත් වෙනව. අමතක නොකර ගිනිපෙට්ටිය අරගෙන ගියත් හැමදාම අපි යනකොටත් අපිට කළින් වැදපු අය පත්තු කරපු පහනක් දැල් වෙවී තිබුණ. කන්ද නැගල පාරට ගියාම ඉස්සෙල්ලම උඩවත්ත ගේට්ටුව ළග රැක් අත්තන පිපිල. කහපාටට මල් පිපිල තියනකොට ඔක්කොම මල් කඩාගන්න හිතෙනව.
ඔය ඇති. යං රෑ වෙනව. කියල අම්ම අඩි කීපයක් යනකල්ම මං තව මල් කඩනව. ඇත්තටම උඩවත්ත කියන්නෙ ලොකු වත්තක්. එහේ ඉස්සර හිටපු හාමුල හරි හොදයි කියල ආත්තම්මා නිතරම කියනව. ඒ වත්තෙ නැති පලතුරක් නෑ. වැඩිපුරම තියෙන්නෙ රබර් වගාව. උඩ වත්තෙ හිටපු හාමුල ඉඩකඩම්, ගෙවල් දොරවල් විකුණලු කොළඹ ගිහිල්ල. ඉතින් එහෙන් පෝෂණය වුණු බල්ලො ටික අපේ ගෙදරට එන්න පුරැදු වුණා. මට මතකයි ඉස්සරම බල්ලො හත් දෙනෙක් අපේ ගෙදර හිටිය. ඔය අතරෙ වල්ගෙ කොට කිංකියෙක් හිටිය. ඒ කික්කිගෙ පරම්පරාව අවුරැදු ගාණක්ම පැවතුණා. උගේ පැටවුන්ගෙත් වල්ග කොටයි. බෝධිය ළගට එන හැමෝම විෂ්ණු දෙවියන්ට නිල් මල් වට්ටියකුයි කතරගම දෙවියන්ට රතු මල් වට්ටියකුයි හදනව. රතු නැන්දලයි වැට දිගට ගියපු කටරොළු වැලෙන් කටරොළු මලුත් කඩාගෙන සීතා නැන්දගෙ කඩේ ළග තියෙන දාස් මල්, මල් ඇති දරැවො දැන් කියල අම්ම කිව්වත් තව මල් දෙක තුනක් හරි මං කඩා ගන්නව. කඩේ ඉස්සරහ බලන්න ලස්සනයි. ඔක්කොම අඹ දාස්. දැන් තමයි ගමනෙ සුන්දරම කොටස පටන් ගන්නෙ. සීතා ඇන්ටිගෙ කඩේ ළගින් වම් පැත්තට වෙන්න පොඩි අඩි පාරක් තියනව. අඩි පාරෙ දකුණු පැත්තෙන් දොළ පාර. ඊට එහායින් කුඹුරැ යාය. වම් පැත්තෙ කැළේ. කැළේ එරමිණිය ගස්වල එරමිණිය ගෙඩි පිරිල. අතරමගදි වෙරළු ගස් දෙකක් හම්බවෙනව. එකක් පොල් වෙරළු. අනිත් එක හීන් වෙරළු. මම වෙරළු ගහ පැත්තට හැරෙනකොට, එනකොට ඇහිදිමු. දැන් වෙලාව නෑ කියල අම්ම කිව්වට ගෙඩි දෙකක් එතකොටත් කට ඇතුලට ගිහින්. හීන් වෙරළු ගහ ළගම හීන් මුත්තගෙ පැල් කොටේ. පැලට පිටිපස්සෙන් එළවළු කොරටුව. දඹල, මෑ කරල් කොරටුව සාරයි. හීන් මුත්ත නම් කියන්නෙ රෑට වල් උෟරන්ගෙන් බේරගන්න එකලු අමාරැම. ආහ් මේ අක්කයි නංගියි වදින්න යනව වගේ. හීන් මුත්ත හැමවෙලාවෙම හිනා වෙලා ඉන්න මනුස්සයෙක්. හීන්දෑරි ශරීරයක් තිබුණට කඩියා වගේ වගා කටයුතු කරන්නෙ.
දැන් හදුන්කූරැ සුවද දැනෙනව. අපිට කළින් කීප දෙනෙක් ඇවිත් මල් පූජා කරල තියනව. පොල් තෙල් පහනත් නිවිල නෑ. මගේ ලොකුම රාජකාරිය මල් වට්ටි හදන එක. එකක් බෝධියට, එකක් බුදු පිළිම වහන්සේ ළගට, රතු මල් වට්ටියයි නිල් මල් වට්ටියයි දෙවියන්ට. අම්ම ඒ අතරෙ පීරිසි කෝප්ප හෝදල දැහැත් විට, ගිලන් පස, පැන් තියල බෝධිය නාවන්න පැන් කළ දෙකකුත් සූදානම් කරල. ලොකු පැන් කලේ අම්මට. පොඩි පැන් කලේ මට. මං වතුසුදු මල් දෙකක් පැන් කළ දෙකටත් දානව. මල් පහන් තිබිය යුතු තැන්වලින් තියල පැන් කල දෙකත් අරගෙන බෝධිය වටේ තුන් වරක් ගිහිල්ල බෝධිය නාවනව. බෝධිය වටේටම නාවන්න කලින් පැන් කලේ ඉවර වෙයිදෝ කියල සැකේට පැන් පොඩ්ඩ පොඩ්ඩ බෝධියෙ මුල්වලට දාන්න මං වග බලා ගත්ත. ඊලගට මඩුවෙ උඩ ලණු පොටවල් දෙකක් මැද්දෙ එල්ලල තිබුණු පන් පැදුරක් අරන් අම්ම බෝධිය ඉස්සරහින් එලනව. ඒ දවස්වල මල්ලිට තමයි වැඩිපුර අපල තිබිල තියෙන්නෙ. මල්ලිට විතරක් බෝධි පූජා තියනව කියල මට පොඩි ඉරිසියාවකුත් තිබුණ. ඒත් නවග්‍රහ ශාන්තිය කියන වෙලාවට අම්ම, අරහං බුදු ගුණෙන් පුතාගෙ සිකුරැ අපල දුරැ වේවා කියද්දි මම අරහං බුදු ගුණෙන් මල්ලිගෙ සිකුරැ අපල දුරැ වේවා කියල කියනව. අම්ම, පුතාගෙ සහ පුතාට කියන තැන්වලට මම මල්ලිගෙ, මල්ලිට කියල එකතු කරනව. ඒත් සමහර වෙලාවට වැරදිලා මාත් පුතාගෙ අපල දුරැවේවා කියලත් කියනව. වැදල ඉවර වුණාම අම්ම පොඩි වෙලාවක් භාවනා කරනව. මාත් ඇස් දෙක පියාගෙන භාවනා කරනව වෙනුවට දොළේ වතුර ගලන හඩ අහගෙන ඉන්නව. හඩ අහගෙන ඉදල මදි. මම යනව දොළ ළගට. මාගේ අඩි සද්දෙට වතුරෙන් ඔළුව දාගෙන හිටපු ඉබ්බෙක් කම්මැලිකමෙන් වතුර යටට යනව. බෝධිය කිට්ටුව තැන් දෙකකට ඒදඩු දාල තිබුණ. එකක් පරණයි. ඒකෙ කොට දිරපු නිසා පාවිච්චි කරන් නෑ. ඒදණ්ඩ උඩට ගිහින් කෙළ පාරක් ගැහුවම මාළු රෑනක්ම උඩට එනව. ඒදණ්ඩෙ අත්වාරැවක් තිබුණෙ නෑ. කොට දෙකක් විතරයි තිබුණෙ. ඒදණ්ඩ ළගම ලොකු රැක් මල් ගහක් තිබුණ. රැක් මල් සුවදයි ඒ පළාතම. රැක් මල් සුවදෙ ඒ දණ්ඩ උඩ වාඩි වෙලා මාළු දිහා බලන් ඉන්න මට පුදුම ආසාවක් තිබුණෙ. අම්ම පූජා කරපු ගිලන්පසවලට කොඩයො, කූඹියො එන්න කලින් අස් කරල හෝදල අයින් කරනව. මල් පහන් එහෙමම තියනව. මල් අස් කරන්නෙ ඊළගට වදින්න එන අය. ඒ අස් කරන මල් මඩුව පිටිපස්සෙ එකතු වුණා. එතනින් ආවෙ අමුතුම සුවදක්. අලුත් මල්වල සුවදත්, පරණ මල්වල සුවදත්, මල් වර්ග කීපෙක සුවදත් කලවම් වෙලා අමුතුම සුවදක් එතන තිබුණ. මං හැමදාම ගෙදර එනකොට එතනින් පර වුණු දාස් මල් ගොඩක් අරන් එනව පැළ කරන්න.
දැන් කළුවර වැටීගෙන එනව. අපි එන වෙලාවට හීන් මුත්ත වැඩ ඉවර කරල පැලට ඇවිත් බුලත් විටක් කන වෙලාව. මං ඊයෙ හැන්දෑවෙත් දැක්ක නාග රාජයා. අම්මෝ උගෙ ලස්සන. අපෙන් කරදරයක් නැත්නම් උගෙන් කරදරයක් නෑ අපට.. බුලත් කොලේ පිහිදල අරන් කොලේ නැට්ටයි අගිස්සයි කඩන ගමන් නාග රාජයගෙ විස්තරේ කියනව. කරැංකා ගෙඩියෙ ලෙල්ල අයින් කරල ගිරෙන් හීනීයට ලියල දුම්කොල කෑල්ලකුත් එක්ක බුලත් කොලේ මැදින් තියල හතරට පහට නමල කටේ දාගෙන දබරඇගිල්ලට හුණු පොඩ්ඩක් අරගෙන බුලත් කහටටම කළු පාට වෙච්ච යටි ඇන්දෙ දතක රදව ගන්නෙ හරිම සීරැවට. බුලත් විට කටේ කියාගෙනම රෑ බෝ වෙන්න ළගයි හොදට පාර බලා ගෙන යන්න ඕන..සත්තු සර්පයො එළියට එන වෙලාව.කියල හීන් මුත්ත කට බුලත් විටෙන් පිරිච්ච නිසා බොහොම අමාරැවෙන් කියනව.
දැන් වෙරළු ගහ කිට්ටුව. වෙරළු ඇහිදින්න වෙලාවක් නෑ.කරැවල වැටී ගෙන එනව.හෙට ටිකක් කලින් ඇවිත් ඇහිදිමු. ඇත්තටම හීන් මුත්ත කියපු නාගරාජයා පාරෙ ඉදල පෑගුණොත් කියල බයට අම්මගෙ පිටිපස්සෙන් හොදට බිම බලන් මම එනව. ඒත් කවදාවත් මං ඒ පාරෙ නයෙක් දැක්කෙ නෑ. ඒත් මේ පාරෙ යන කීපදෙනෙක්ම නාග රාජයෙක් දැකල තිබුණ. හිත පිරෙන්න වෙරළු ඇහිදගන්න බැරි වෙච්ච දුකට එන ගමන් අතේ දුරින් තියන කිරිල්ල පොකුරක් කරඹ ගෙඩියක් කඩා ගෙන ගෙදරට එනකල්ම කකා ඇවිත ඉතුරැ වුණු කරඹ ගෙඩි දෙකක් විතර මල්ලිටත් දෙනව.
****************************************************
හීන් මුත්ත නැති වෙලා දැන් අවුරැදු ගාණක් වෙනව. දැන් ඒ පැල තිබුණු තැන හොයන්නවත් නෑ. දොළේ පන්සලට දැන් ඉස්සර වගේ ගමේ අය යන්නෙත් නෑ. එහෙම තැනක් තිබුණු කියල ගමේ අයට මතකෙකුත් නෑ. දැන් අර වෙරළු ගස් දෙකම නෑ. කැළෑ කුට්ටිය එළි කරල. ඒ ඉඩම පෞද්ගලික සමාගමකින් මිලට අරගෙන.දොළ පාර ඉස්සර වගේ ලස්සන නෑ. දැන් ඇළ පාරක් වගේ. පුංචි වතුර පාරක් අමාරැවෙන් ඇවිදින මහල්ලෙක් වගේ හෙමින් ගලාගෙන යනව. මාළු රංචුවලට මොනව උනාද කියන්න දන්නෙ නෑ. දොළේ වතුර අඩු වෙද්දි දොළ ගිහින් නතර වෙන පහළ වැවට මාළු පැටව් ගියා කියල හිතන්න පුළුවන්. ඒත් වැවේ ස්ථිර පදිංචිකරැවන් වෙන කොරළින්ගෙන් අනවසර පදිංචිකරැවන්ට හිරිහැර වුණාද දන්නෙ නෑ. කොහොම වුණත් පුංචි කාලෙ ඒ පාර එක්ක ඒ පරිසරය එක්ක බෝධිය එක්ක තිබුණු මතක අදටත් ගෙනෙන සුවය සැනසීම පුදුමාකාරයි. 

සුවිනි ඉන්දීවරී හෙට්ටිආරච්චි