Sunday, July 29, 2018

නැති වූ ටිකට් පත


කොටුව දුම්රිය ස්ථානයේ එදින මා පැයකට ආසන්න කාලයක් රැදී සිටින්නට වූයේ මා වේලාසනින් දුම්රිය ස්ථානයට යාමත් පැය භාගයක් දුම්රිය ප‍්‍රමාද වීමත් නිසාය. මරදානෙන් දුම්රියට ගොඩ නොවීමේ වරදට ඉද ගන්නට අසුනක් හිමි නොවන බව දන්නා නිසාම ස්ටේසමට ගිය වෙලාවේ ඉදගත් බංකුවේම බොහෝ වෙලාවක් සිටියේ ගාල්ල සහ මාතර බලා ධාවනය වන ගාලූ කුමාරී සීඝ‍්‍රගාමී දුම්රිය තව ස්වල්ප ෙව්ලාවකින් පස්වන වේදිකාවට පැමිණෙනවා ඇත කියනා තුරුය. පැයකට ආසන්න කාලයක් මා අවට සිටින ඉදිරියෙන් එහාටත් මෙහාටත් ඇවද යන මිනිසුන් ගැහැණුන් හා ළමයින් දිහා බලමින් කාලය ගෙව්වෙමි. මා බංකුෙව් ඉද ගන්නටත් පෙර සිටම ස්ටෙසෙම් රැුදී සිටයේ කාගේත් අවධානය දිනාගත් සුන්දර පවුලකි. එම පවුලේ වූයේ අම්මාත් තාත්තාත් දියණියන් තිදෙනෙකුත්ය. මව පමණක් ඇද සිටි කලු පැහැති ෆර්දාවෙන් ඔවුන් මුස්ලිම් ජාතිකයන් බව හදුනාගන්නට හැකි වුණි. මා ඔවුන් දිහා හොරෙන් බලා සිටින්නට වූයේ ඔවුන් සිංහල නිසාවත් මුස්ලිම් නිසාවත් දෙමළ නිසාවත් නොෙව්. ඔවුනොවුන් අතර අදහස් හුවමාරු කර ගැනීමට දරන වෑයම හේතුවෙනි. මවගේ වචන පිට නොවන මුවින් නිකුත්වන එකම ශබ්දයත් ඒ මැදින් ඇය සැමියාට දියණියන් තිදෙනාට අත්වලින් හා ඇසින් පවසන දේත් ඒවා තේරුම් ගැනීමට හා ප‍්‍රතිචාර දැක්වීමට පියාත් දරුවනුත් දරන වෙහෙස කතා කරන්නට හැකි අපට විස්මය කැන්දන්නක් නොවිය යුතු මුත් ඔවුන්ගේ ෙව්ගවත් අදහස් හුවමාරැ කර ගැනීම නිර්වාචික සන්නිෙව්දනයේ ප‍්‍රබලත්වය අපූරු විය.
     පස්වන ෙව්දිකාවට දුම්රිය සේන්දු වනවාත් සමගම දුම්රියට ගොඩවන්නට පොරකන මිනිසුන් අතෙර් මා උත්සාහ කළේ වාඩි වෙන්නට නොව හිටගෙන යාෙම්දී නොවැටී යන්නට අසුනක් අල්ලා ගැනීමටය. මා දුම්රිය පෙට්ටියකට ගොඩවන විටත් මගේ අවධානය දිනා සිටි දරු පවුලටම එක අසුනක් හිමි වී ඔවුහු එතැන නතර වී සිටියහ. මව අසුනේ ඉදගෙන සිටි අතර කුඩාම දියණිය ඇගේ එක කකුලක් මත වාඩි වී සිටියාය. ඔවුහු දුර ගමනක් යනවා හෝ ගොස් එනවා යැයි කියා පාන ලොකු ට‍්‍රැවලින් බෑග් එක ඔවුන් අසලම බිම තබා තිබුණේ උඩ රාක්කයද බෑග්වලින් පිරී තිබුණු බැවිනිග මා ක‍ෙර් එල්ලා ගෙන සිටි බෑගයද තබන්නට රාක්කයේ ඉඩක් නොවූයෙන් රාක්කයේ ඇති බෑගයක් උඩින් දමන්නට අසල සිටි අයෙකුගේද සහය අවශ්‍ය විය.
    සැමගේ අවධානය ඉතා ඉක්මනින් ලබා ගන්නට සමත් පවුලේ පියා හා වැඩිමහල් දියණිය සිට ගෙන ගමන් කළ අතර දෙවැනියා හට ඉදගන්නට ට‍්‍රැවලින් බෑගය හොද අසුනක් ලෙස සකස් කර දුන්නේ පියා විසිනි. ඉදිරි අසුනේ ඉදගෙන සිටි කාන්තාවන් දෙදෙන ඇයව ජනේලය ළගට කැදවා මුහුද දෙස බලා සිටින්නට ඉඩ ලබා දුන්නත් ඈ ඊට කැමති නොවූයේ ලැජ්ජාවෙන් ඇඹරෙමිනි.
    ඔවුන් මුදල් හදල් යහමින් ඇති පොහොසතුන් නොවන බව මට සිතුණි. එලෙස මට හැගුනේ මා මෙන් ඔවුන්ද දුම්රියේ තුන්වන පන්තියේ ගමන් කිරීම නිසා නොව දරුවන්ගේ ඇදුම් පැළදුම් දෙස බැලීමෙනි. දැරියන් තිදෙනාටම එකම වර්ගයේ මල් මොස්තරයක් තිබෙන රෙද්දකින් ඇදුම් මසා තිබුණු අතර වැඩිමහල් දියණිය සල්වාර් ඇදුමකින්ද අනිත් දැරියන් දෙදෙන ගවුම්ද හැද සිටියෝය. එම ඇදුම් ඔවුන්ගේ ශරීරවලට වඩා විශාල විය. ඒවායෙන් අලූත් බවක්ද දිස් නොවුණි. කිහිපසැරයක් සේදීමෙන් පාට සේදී ගිය බවක් දකින ඕනෑම කෙනෙකුට පෙනේ. මවටත් පියාටත් කතා කරන්නට නොහැකි බව දුම්රියට නගින්නට පෙරදීම මම දනිමි. මගේ ගමනාන්තය දක්වාම මට ඇති වූ ගැටලූව දියණියන් තිදෙනාටද කතා කරන්නට නොහැකිද යන්නයි. ඔවුන්ද මවට පියාට ප‍්‍රතිචාර දැක්වූයේ් අතිනි.
    ස්ටේසමෙන් ස්ටේසමට ඔවුන්ට හිමි අසුන ඔවුනොවුන් අතර මාරු විය. මාරු නොවුණේ බෑගය උඩ වාඩි වී සිටි දියණිය පමණි. වරක් මව නැගිටි අතර වැඩිමහල් දියණිය වාඩි වූවාය. එවිට කුඩා දියණිය පියා විසින් වඩා ගෙනය.
 "අයිඩින්ටී කවර, ලයිසන් කවර, නියකටර්, කන් හැදී...”
 "ඇපල් ගෙනාව ඇපල්.. රස ඇපල්.. සීයට පහයි ඇපල්..”
 "වඬේ වඬේ.. විස්සට පහයි වඬේ.. ඉස්සො වඬේ  පරිප්පු වඬේ..”
වඬේ විකුණන විට නම් මටද වඬේ කෑමේ ආශාව ඉවසා සිටිය නොහැක. දුම්රිය පෙට්ටිය පුරා විහිදෙන වඬේ සුවඳ කටට කෙල උනවයි. ඒත් මට අද වඬේ ගන්නට විදියක් නැත. පර්ස් එක බෑග් එක ඇතුලේය. බෑග් එක රාක්කය උඩය. මා වඬේ සුවඳ ඉවසා සිටියද දියණියන් තිදෙනාට නම් ඉවසා සිටිය නොහැකි බව මවටත් පියාටත් ඇගිල්ලෙන් අනිමින් පෙරැත්ත කිරීමෙන් පෙනේ. පියා වඬේ වෙළෙන්දා නවතා වඬේ පහක් ගත්තේය. මවත් පියත් වඬේ නොකෑ අතර දියණියන් තිදෙනා වඬේ කෑවෝය. වඬේ පහ තිදෙනාට හොදටම මදිය. එය අම්මාටත් තාත්තාටත් තේරුණි. ඊලගට දියණියන්ටත් කලින් පියා නතර කර ගත්තේ රට කජු, බයිට්, බැදපු කඩල විකුණන වෙළෙන්දෙකි. පියා මිලදී ගන්නේ මොනවාදැයි සිතන අතර දියණියන් තමන්ට අවශ්‍ය කෑමවලට අත තබා ඒවා තමන්ට අවශ්‍ය බව පෙන්වීමට පපුවට අත තබා ඔලූව වනන්නට විය. මේ පියා එක එක වර්ගයෙන් ඉල්ලන දියණියන් හා තරහ ගන්නේ නැත. රුපියල් දෙසීයකම රට කජු, බයිට් දරුවන් අතේය.
 "පුතේ බඩගිනිද? මොනවද කන්න  ඕන..?”
 වචනයෙන් අහන්නට බැරි ඔහු දියණියන්ගේ ආශාව ඉටු කළේ   ඕනෑනම් තවත් අරන් දෙනවා මං වැනි වූ සිනහවක් සතුටක් මුවේ රදවා ගෙනය.
    මෙතෙක් කල් ගමනාගමනයේ යෙදුණු දුම්රිය සේවාව තුළ ටිකට් පරීක්ෂා කිරීමකට මුහුණ දී ඇත්තේ මා කුඩා කළ දෙමාපියන් සමග අනුරාධපුරයේ ලොකු තාත්තලයි ගෙදර යන අවස්ථාවකදී පමණකි. නමුදු අද දින පරීක්ෂකවරු දෙදෙනෙකු ලහි ලහියේ ටිකට් චෙක් කරන්නට වුණි. සෑම මගියෙකුම පර්ස්වලින් සාක්කුවලින් හෑන්ඞ් බෑග්වලින් ටිකට් පත් සොයන්නට එලියට අදින්නට විය. මා සෑම දිනකම ටිකට් පත අතට ගත් මොහොතේම පර්ස් එකට දා ගන්නේ මාගේ සිහිකල්පනාව ගැන මා තරම් හොදින් දන්නා කෙනෙකු නොවන නිසාය. මමද කලබල වූයේ ටිකට් පත පර්ස් එකේ වීමත් පර්ස් එක බෑග් එකේ වීමත් බෑග් එක රාක්කයේ වීමත් නිසාය. මා අසල සිටි අයෙකු ලවා බෑගය පහළට ගෙන පර්ස් එක ඇර බලන විට මගේ ඇග සීතල විය. ටිකට් පත එහි නැත. බෑග් එක අතින් එල්ලා ගෙනම ඉතුරු සල්ලි කලිසම් සාක්කුවට දමා ගැනීමේ පුරුද්දට අනුව සාක්කුවට අත දමා බැලූ කළ ටිකට් පත එහි විය. පෙර දිනවල මෙන් ටිකට් පත පර්ස් එකට දමන්නට තරම් සිහිකල්පනාවක එදා නොතිබෙන්නට ඇත්තේ නිරාකරණය කරගත යුතු ගැටලු කීපයක්ම ඔලුවේ තිබූ නිසා විය යුතුය. කෙසේ හෝ ටිකට් පත අතට හසු වීමෙන් දැනුණු සතුට දවස් ගණනක් වතුර නොබී සිට වතුර බෝතලයක් අතට ලැබුණා වැනි විය.
 "කෝ ටිකට් එක ගන්න.. ආ.. මොකක්ද කියන්නෙ..”
මගේ ටිකට් පත පරීක්ෂකවරයාට දී අනෙක් පස හැරී බලන විට දියණිවරු තිදෙනාගේ පියාගෙන් අනෙක් පරීක්ෂකවරයා ප‍්‍රශ්න අසන්නට පටන් ගෙනය. මව බෑගයේ ඇති සියලූ දේ එලියට අදිමින් කලබල වී ටිකට් පත සොයයි. ඉදිරි අසුනේ අය
 "කලබල නැතුව හෙමින් බලන්න ඇති"
 කියද්දී පරීක්ෂකවරයා වරම අතට ගෙනය. පියා ඉතා අසරණව අතින් මොනවදෝ කියන්නට උත්සහ කරයි. කුඩාම දියණිය අඩන්නට සූදානමින්ය. අක්කලා දෙන්නා බය වී පියාගේ කමිසයේ එල්ලී බලා සිටී. එසැනින්ම මට වහා මතක් වුණේ දුම්රියට නගින්නට කලින් කුඩා දියණිය අතේ ටිකට් පතක් තිබූ බවය. දැන් මට නිහඩව සිටිය නොහැක. ඔවුන් වෙනුවෙන් කතා කළොත් පරීක්ෂකවරයා මටද බනිනු ඇත. ඒ තරම් ඔහු කෝපයට පත්ව ඇත. නමුදු මෙය කිව යුතුමය.
 "මම දැක්ක පොඩි එක්කනගෙ අතේ තියනව.”
මවත් පියත් දියණියගෙන් අසන්නට පටත් ගත්තෝය. ඇය හඩන්නට විය. පරීක්ෂකවරයාගේ කෝපයේ අඩුවක් නැත. ඔහු කියූ දේවල් මටද හරියට ඇසුණේ නැත. අසා සිටින්නට ඇවැසි වුණේද නැත. පරීක්ෂකවරයා දඩ ගෙවිය යුතු බව කිව්වා මතකය. අවට සිටි අය
 "දරුවගේ අතේ තිබිල බිම වැටෙන්න ඇති”
කියා බිමද බලයි. පරීක්ෂකවරයා අප සිටි දුම්රිය පෙට්ටියෙන් ඊලග පෙට්ටියට ගිය පසුව දැරිය තම සාක්කුවට අත දමා ටිකට් පතක් එලියට ගෙන පියාට දෙනු දුටු මට සතුට නිම්හිම් නැති විය. ආදරණීය පියාට තම කුඩා දියණියට බොහෝ දේ කියන්නට අවැසි වුවද ඔහුගේ නෙතින් කඳුලක් ඉනුවේ සතුටටද දුකටද කියා තේරුම් ගන්නට මා අපොහොසත් වූවෙමි.

සුවිනි ඉන්දීවරී හෙට්ටිආරච්චි
                               

3 comments: