Monday, March 11, 2019

වන අරණක සුව දවසක්





කන්නෙලියේ යන්නට මට අවස්ථාවක් ලැබුණේ අහම්බයෙනි. කෙසේ හෝ කන්නෙලියේ ගිය පළමු ගමන විටෙක විනෝදජනක හා ත්‍රාසජනක වූ අත්දැකීමක් මෙන්ම බොහෝ දැනුම එකතු කර ගන්නටත් හැකි විය. වනය තුළට පිවිසෙන විට අපට මාර්ගෝපදේශකවරයෙකුද අපට ලැබුණි. ඔහු ඉතා හොදින් එහි වන ගස් වැල් හා සතා සීපාවුන් පිළිබද අපට කියාදුනි. මෙහි මා සදහන් කරන්නේ ඔහු හදුන්වාදුන් කියා දුන් කන්නෙලියේ දැක ගත හැකි ගස් වැල් පිළිබදවය. මෙම චාරිකාවෙන් ඇතැම් විට අපි කිසිදා අසා නැති ලංකාවට ආවේණික වූ ශාක හා නම් අසා තිබුණත් ඒවායින් ඇති ඵලදායිබව, විශේෂත්ව අප නොහදුනන ශාක වර්ග රැසක්ද දැන ගන්නට හැකි වුණි.
කැලය මැදින් ඉදිරියට යන අපට මාර්ගයේ මැදින් ගමන් කරන්නට උපදෙස් ලැබුණේ දෙපස වන කොළ රොඩු අතර සර්පයන් සිටින්නට හැකි බැවිනි. තවද අඩිය ඉක්මන් කර ගමන් කිරීම ඇගට ගුණ බව අපගේ උපදේශක මහතා පැවසුවේ කූඩැල්ලන්ගෙන් ආරක්ෂා වීමට කළ හැකි උපක්‍රමයක් ලෙසය.
ඉදිරියට යන අප නවතා ඔහු පළමුව අපට හදුන්වා දුන්නේ මහ බදුල්ල ගසකි. මහ බදුල්ල,  ගහෙන් නිකුත්වන කිරි විෂ සහිතය. බදුල්ල ශාක වර්ග 16 ක් කන්නෙලියේ වෙයි. ගොරක දැක තිබුණද ගොරක මද කෑවද ආහාර පිසීමේදී කුළු බඩුවක් ලෙස යොදා ගත්තද ගොරක ගසේ විශේෂත්වය බොහෝ දෙනා නොදන්නවා විය හැකිය. එනම් ඕනෑම ගසක පත්‍ර වියලුණු පසු බිම වැටෙන මුත් ගොරක ගසේ පත්‍ර බිමට වැටෙන්නේ වියලෙන්නට පෙර කොළ පැහැතිවය. පැදුරැ විවීමට යොදා ගන්නා දුනු කෙයියා ශාකයද කන්නෙලියේදී හමුවේ.
ග්රෑම් එකක් රැපියල් 18000-20000 අතර වටිනාකමක් ගන්නා ශාක කොටස් ඇති වල්ලපට්ට ශාකයද කන්නෙලියේදී දැක ගත හැකිය. මෙම ශාකය වටින්නේ ගසේ කද පළුලු වූවොත් පමණි. අපේ මුතුන් මිත්තන් බුලත් කොළ වෙනුවට කෑමට ගත් තපාසර බුලත් නම් ශාකය දැක ගන්නට හැකි වුවත් බුලත් කොළයේ රසයම ඇත්දැයි පරීක්ෂා කරන්නට අවස්ථාව ලැබෙන්නේ නැත.
කන්නෙලිය වනාන්තරයේ වටිනාකම වැඩි කරන්නේ එහි වන දුර්ලභ ශාක විශේෂයන් බව යළිත් අපට සිහිපත් කරන්නට මැන්ඩෝරා ගස සමත් විය. මැන්ඩෝරා කන්නෙලියේ පමණක් ඇති ශාකයකි. ඌරා කැකුණ තලන කොට හබන් කුකුළන්ට මගුල්ලු. මේ ඉගි වැකිය  මතක් වුණේ කැකුණ ගස් හා එහි ඵල දුටු විටය. කැකුණ ගෙඩියේ මදය ඉතා කුඩා වූවකි. ඒ බව නොදන්නා ඌරා ගෙඩියේ සුවදට කැකුණ ගෙඩිය තලයි. ඉන්පසු හබන් කුකුළන් විත් එහි බීජ ආහාරයට ගනී. ඉගි වැකිය අසා තිබුණත් එය නිර්මාණය වන්නට වූ හේතුව දැන ගත්තේ මා කන්නෙලියේදීය.
අපේ රටට ආවේණික වන අමුවෙන් දහනය කළ හැකි ශාකයක් වන හැඩවත හා දකුණු පළාතට ආවේණික වන ඩොන්කා ද කන්නෙලියේ සුරැකිව තිබෙනු දැක ගත හැකිය. ඩොන්කා ඉදුණු විට කහ පැහැති ටෙනිස් බෝලයක් තරම් ප්‍රමාණයේ මැන්ගුස් වැනි රසවත් පලතුරකි. ඒ වාගේම ඖෂයක් සේ ප්‍රfයාaජනයට ගන්නා වල් කුරැදු, කැඩුම් බිදුම් සදහා යොදා ගන්නා බේරැ ශාකයද කන්නෙලියෙන් දැක ගත හැකිය. මෙම බේරැ ගසේ පත්‍ර සෙවිලි කිරීම සදහා යොදා ගන්නා අතර එම පත්‍රවලට අවුරැදු ගණනක් නොදිරා පැවතිය හැකිය. දූරියන් ගෙඩියට සමාන වන වල් දූරියන්ද අපි දැක ගත්තෙමු. මට සිහිපත් වුණේ විශාල රඹුටන් ගෙඩියකි. දූරියන්වලට වඩා රඹුටන්වල මෙන් කෙදි විශාල සංඛ්‍යාවකින් මෙහි ඵලය ආවරණය වී ඇත.
ශාක පිළිබද විපරමින්, හදුනාගනිමින්, ඉගෙන ගනිමින් යන අප කණ්ඩායමට ත්‍රාසජනක අත්දැකීමක් විද ගන්නට හැකි වුණි. ඒ කුමක්ද යත් අප යන මාර්ගයේ දකුණු පසින් පහළට බසින්නට හැකි කුඩා පාරකි. එහි බැස යන විට විශාල ගලක් යටින් ගලා යන කුඩා දිය පහරකි. යළි මාර්ගයට පැමිණීමට ගල යටින් රිංගා යා යුතුය. වවුල් ගද දැනෙන එම ගුහාව අන්ධකාරය. කොදු නමාගෙන රිංගා ආ අප යළි අපි පැමිණි මාර්ගයටම වැටිණි. මාර්ගෝපදේශක මහතා නොසිටින්නට අප යළි ඉදිරියට යනවායි සිතා ආපසු යනු ඇත. දකුණු පසින් පහළට බැස ගමන් කළ මාර්ගයේම වම් පසින් මතු වුණු අප කර ඇත්තේ යන මාර්ගය යටින් ඒ හරහා යෑමය.
ඇට්ටෝනියා අප නිවාස සෑදීමේදී වටිනා දැවයක් සේ ප්‍රfයාaජනයට ගත්තද එය අපේ රටට ආවේණික නොවන ආක්‍රමණශීලී ශාකයකි. කන්නෙලියේ මේ වන විට ඇට්ටෝනියා ගස් මර්දනයට සියලු ගස්වල පොතු කපා ඉවත් කර ගස් වියලෙන්නට හැර ඉවත් කරනු ලබයි. ඇට්ටෝනියා ශාකය පොළවේ ඇති විශාල ජලය ප්‍රමාණයක් උරා ගනු ලබන්නකි. මෙම කාරණය අනෙක් ශාකවල පැවැත්මට බලවත් තර්ජනයකි.
අප පලතුරක් සේ ආහාරයට ගන්නා වෙරළු ශාකයේද ප්‍රfභ්ද රැසකි. ඒවා තිත්ත වෙරළු, ගල් වෙරළු, නිල් වෙරළු ලෙස දැක්විය හැකිය. නිල් වෙරළු අපේ රටට ආවේණික වූවක් නොවේ. තව තවත් කැලය මැදින් ඉදිරියට යන විට අපට මිදි වැලක් හමු විය. අප මිදි යැයි සිතුවද ඒවා වල් මිදිය. වල් මිදි මාබණ්ඩ ලෙසත් හදුන්වනු ලබයි. මේවා ආහාරයට ගත නොහැක. සතුන්වත් ආහාරයට නොගනී. වල් මිදිවලට ආසන්නයෙන් වල් ගම්මිරිස වැලක්ද වේ.
සිංහරාජ වනාන්තරයේ බහුලව දැක ගත හැකි බාදුරා ශාකය කන්නෙලියෙන්ද දැක ගත හැකිය. බාදුරා මල ලෙස අප හදුන්වන්නේ සැබෑ බාදුරා මල නොවේ. අප ඒ දකින්නේ බාදුරා ගොමුව නැතිනම් බාදුරා කෙන්ඩියයි. කක්කල් කැස්ස සදහා බාදුරා ශාකය ඖෂධයක් සේ යොදා ගනී. මීමන ශාක කුලයේ උසම ශාකය වන ගිනිහොට ද අපි දැක ගත්තෙමු. අප දුටු ගිනිහොට ශාකය නම් වඩාත් උස නොවූ පැළයකි. ගිනිහොට ගිනි වටාරම් ලෙසින්ද හදුන්වනු ලබයි.
හල් ශාකය පිළිබද ඔබ අසා නොතිබුණත් ඇතැම් විට හල් පොතු පිළිබද අසා තිබෙන්නට හැකිය. අපේ මුතුන් මිත්තන් තෙලිජ්ජ සකස් කිරීමේදී හල් පොතු යොදා ගෙන තිබේ. හල් පොතු තෙලිජ්ජ සදහා පමණක් නොව හල් පොතු පිටි කර හැලප වැනි කෑම ද සකස් කර ගත හැකිය. නමුත් මෙම හල්පොතු ඉතාමත් තිත්ත බැවින් හල් පොතු රෙදි කැබැල්ලක දවටා ගලා යන ජලයේ ගැට ගසා තැබිය යුතුය. නැතිනම් කිහිප වරක් සෝදා මිරිකා ගත හැකිය. එවිට තිත්ත රස නැතිවී යයි.
හිස කෙස් සදහා වටිනා ඖෂයක් වන ගොඩපර ද කන්නෙලියේ වෙයි. ගොඩපර ගෙඩි ඉදුණු පසු පළතුරකි. තවද පෘථිවියේ මුලින්ම හටගත් ශාකය ලෙස හදුන්වනු ලබන ඕගහාට ද සෙනජිනෙල්ලා ද මෙහි වේ. ඉතා වටිනා ඖෂයක් වන වෙනිවැල්ගැට නැතිනම් බාන්වැල්ගැට වැල් ද කන්නෙලියේ බහුලය. වැනිවැල්ගැට වැලෙහි තැනින් තැන ගැටයක් දැක ගත හැකි අතර එය වැලෙහි වටිනාම කොටසයි. වැලෙහි පෝෂකය ඇත්තේ එහිය.
 කන්නෙලියේ ඉහළට ගමන් කරන සංචාරක සැමට ඉතා සුන්දර වූ දිය ඇල්ලක් නැරඹීමට හැකිය. එය අනගිමළ ඇල්ලයි. මෙම නම සෑදීමට ඉතිහාස කතාවක් ඇත. එනම් ඒ ප්‍රfද්ශයේ එක් ගමක කුඩා ගැහැණු ළමයෙක් වාසය කර ඇත. ඇය මෙම ඇල්ලට නාන්නට ගොස් දියේ ගිලී මරණයට පත් වේ. එතැන් සිට අනගි මැරැණු ඇල්ල පසුව අනගිමළ ඇල්ල බවට පත්ව ඇත. විශාල ගල් තලාවක් මැදින් සුදු පෙණ පිඩු මවමින් කඩා හැලෙන අනගිමල ඇල්ල ඉතාමත් සුන්දර වූවකි. එම පරිසරයෙන් මිදී එන්නට සිත් දෙන්නේ නැත.
අනගිමළ ඇල්ල නරඹා කන්නෙලියේ තවත් ඉහළ ප්‍රfද්ශයක් නරඹන්නට හැකි වුවද අප කණ්ඩාය‍මෙහි කුඩා පාසල් දරැවෝ වූ බැවින් එතැනින් නැවතී යළි ආපසු පැමිණෙන්නට තීරණය විය. පහළට බසින අතරමග ඇල්ලෙන් පහළට වැටෙන ජලය ගලා යන දොළ පහරකින් කන්නෙලිය නරඹන්නන්ට ගතෙහි දාහය නිවා ගත හැකිය. තුරැලතා පෝෂණය කරමින් ගලා යන එම ජල පහර ඉතාමත් සීතල පිරිසිදු වූවකි. සීතල ජලයේ බැස නා දහවල් ආහාරයද ගෙන කන්නෙලියේ පුංචි රවුමක් නිමා කර යළි මා නිවසට ආවේ නැවතත් එහි යා යුතුය යන බලාපොරොත්තුවෙනි. 

සුවිනි ඉන්දීවරී හෙට්ටිආරච්චි

No comments:

Post a Comment