Thursday, March 7, 2019

රිටිපන්නේ කතන්දරේ


මහා ගත්කරැ මාර්ටින් වික්‍රමසිංහයන් විසින් පීත්ත පටියකට උපමා කරන ලද ගාලු මාතර මාර්ගයේ ඔබ එක් දිනක් හෝ ගමන් කර ඇත්නම් එහි දකුණු පසින් දිස්වෙන සුන්දර වෙරළ තීරය කිසි කලෙකත් අමතක නොවන බව සැක නැත. මේ සුන්දර වෙරළ තීරයේ අලංකාරය දෙගුණ තෙගුණ කරනා දසුනක් ලෙස රිටිපන්න ධීවර කර්මාන්තය දැක්විය හැකිය.
මහ සයුර මැද සිටවනු ලබන දිග රිටක බැදි හරස් ලීයක නැග මාළු බාන රිටිපන්න ධීවරයෝ දකුණු ලක අනන්‍යතාවක් බදුය. මෙකී රිටිපන්න ඉතිහාසය පිළිබද කරැණු බොහෝ දුරට අපැහැදිලි වේ. ඇතැමෙක් මෙය දෙවන ලෝක යුද්ධයෙන් පසු ආරම්භ වූවක් ලෙස පවසති. තවත් අය රැවල් නැව්වලින් මෙරටට පැමිණි ධීවරයන්ගෙන් ඉගෙන ගෙන ලන්දේසි යුගයේදී ඇරඹුණු බවද පවසති. කෙසේ වෙතත් දැනට තහවුරැ වෙමින් පවතින තොරතුරැවලට අනුව රිටිපන්න මසුන් ඇල්ලීමේ ක්‍රමය ශ්‍රී ලංකාවටම ආවේණික පන්න ක්‍රමයකි. ලංකාවේ සංචාරක කර්මාන්තයේදී රිටිපන්න ක්‍රමය සැබෑ ආකර්ෂණයකි. රිටිපන්න මසුන් ඇල්ලීම සෑම නොගැඹුරැ මුහුදු ප්‍රදේශවලම සිදු කරන්නේ නැත. එය විශේෂයෙන්ම වැලිගම, අහංගම, කොග්ගල, කතළුව, වැලිපැන්න, මිදිගම යන වෙරළ බඩ ප්‍රදේශවල පමණක්ම දැකගත හැකිය.
රිටිපන්න මසුන් ඇල්ලීම සදහා සිටුවන කණු ඇට්ටෝනියා ගසක කදකි. ඇට්ටෝනියා නොමැති නම් කදුරැ සහ කඩොල් ලීද ඒ සදහා ගනු ලබයි. මෙම කණුව උපරිම අඩි 7ක් හෝ 8ක් පමණ උස වේ. සිරස්ව සිටුවන මෙම කණුවට ඉහලින් තිරස්ව බදිනා පොලු කැබැල්ලකි. එය කණුවේ සමබරතාව රැක සදහාත් ධීවරයාට කණුව මත ඉද ගැනීමටත් යොදා ගනු ලබයි. එම හරස් පොල්ල පෙත්ත ලෙස හදුන්වන්නේය. මෙම කණුව සිටුවන ස්ථානය කණුපල ලෙස හදුන්වයි. එම කණු පලේ අයිතිය පරම්පරාවෙන්පරම්පරාවට උරැම වන්නකි.
කණු පලෙහි අයිතිය පියාගෙන් පුතාට හිමිවන අවස්ථා ඇතිමුත් ඇතැම් අවස්ථාවල කණු පල බෙදා හදා ගනිමින් මාළු ඇල්ලීමද සිදු කරයි. කෙසේ වෙතත් පියාගන් පුතාට හිමිවන කර්මාන්තයකටත් වඩා මෙය පියාගෙන් බෑනාට උරැම වන එකක් බවද රිටිපන්නයේ යෙදෙන ධීවරයෝ පවසති. මෙමගින් වක්‍රාකාරව දෑවැද්ද ලබාදීමක් සිදුවන බවද කියවේ.
නොගැඹුරැ මුහුදේ ඇට්ටෝනියා රිට හිටවනු ලබන්නේ අමුතුම ක්‍රමයකටය. ඒ සදහා දිය යට ඇති ගල් පරයක් විදීම සිදුවෙයි. මේ සදහා අලවංගුවක් හෝ යකඩ ඉන්නක් භාවිත කරයි. ගල් පර සිදුරේ ඇට්ටෝනියා කණුව රදවනු ලබයි. එලෙස රදවනු ලබන කණුව අවුරැද්දක පමණ කාලයක් රැකගත හැකිය. කාලයත් සම්‍ග කර පණුවන් නමැති මුහුදු ජීවියා හේතුවෙන් කණුව විනාශ වේ. කර පණුවන් කෑමෙන් නැවත අලුත් කණුවක් සිටුවන්නට ධීවරයාට සිදුවේ.
අනෙක් ධීවරයන් මෙන් රිටිපන්න ධීවරයෝද ලියාපදිංචි ධීවරයෝ වෙති. මොවුන් යොදා ගන්නා ලී කණුවද ලියාපදිංචි කරනු ලබයි. රිටිපන්න ධීවරයෝද රජයේ පිළිගත් ධීවර හැදුනුම්පත් හිමිකරැවෝ වෙති. රිටිපන්න ක්‍රමයෙන් වැඩි වශයෙන් අල්ලන්නේ කොරබුරැවා නම් මාළුන්ය. දකුණු පළාතේ කොරබුරැවා ලෙස හදුන්වන මෙම මාළුවා වෙනත් ප්‍රදේශවලදී සාලයන් ලෙස හදුන්වයි. තවද පරව්, බෝල්ලන් සහ හුරැල්ලන් වැනි මාළුද රිටිපන්නයට හසුවේ. උදේ පාන්දර සහ සවස් කාලයේ වැඩි මාළුන් ප්‍රමාණයක් අල්ලා ගත හැකි බව රිටිපන්න ධීවරයෝ පවසති. රිටිපන්නෙන් අල්ලන මාළුන් ගාලු මාතර පාර අයිනේ විකුණනු නිතර දැක ගත හැක.
රිටිපන්නෙන් මසුන් ඇල්ලීම සදහා යොදා ගන්නා බිලී කටු තැනීමේ තාක්ෂණය ලොව වෙනත් කිසිදු රටක භාවිත කරන්නේ නැත. එය ලංකාවටම ආවේණික වූ තාක්ෂණයකි. අල්ලන මාළුවා අනුව බිලී කටුවද වෙනස් වේ. බිලී කටුව සෑදීම ඉතා අසීරැ කටයුත්තකි.



එය හැමෝටම කළ නොහැකි බව පාරම්පරිකව රිටිපන්නයේ යෙදෙන්නෝ පවසති. බිලී කටුවේ අච්චුව සාදා ගන්නේ දැලි පොත්තෙනි. හොදින් වියලාගත් දැලි පොතු කුඩා කැබලිවලට කපා රත් කර අච්චුවක් සාදා ගනී. එම අච්චුවට රත් කරන ලද ඊයම් වක් කර නිවුන පසු අච්චුවෙන් ගලවා ගනී. මෙලෙස සකසා ගන්නා බිලී කටුව ඔප දැමීම සදහා බිදුණු බල්බයක වීදුරැ කටුවක් යොදා ගනී. මෙම ඔපයට රැවටෙන මසුන් පහසුවෙන් ඇම කන බව ධීවරයෝ පවසති. එක් බිලී කටු වර්ගයක් කුඩු කට්ට ලෙස හදුන්වයි. සාමාන්‍යෙයන් මාළු ඇල්ලීමට ජීවී ඇමක් භාවිත කළද රිටිපන්නයේදී ඇමක් අවශ්‍ය නොවේ. ඒ බිලී කටුවේ දිස්නයට මාළුන් රැවටෙන නිසාය. අද වන විට රිටිපන්න ධීවරයාගේ ඇමට මාළු අඩුවෙන් අහුවෙන අතර සංචාරකයන් මේ ඇමට අහුවෙන්නේ දැඩි ආසාවකිනි. විදේශිකයන් මේ සදහා කෙතරම් ඇලුම් කරනවාද යන්න ඇතැම් විදේශිකයන් යළි තම රටට ගොස් මෙම ධීවරයන්ගේ ලිපිනයට ලබාගත් ඡායාරැප එවීමෙන් තහවුරැ වේ. කෙසේ වෙතත් පරිසර හිතකාමී රිටිපන්න ධීවර ක්‍රමය දැන් දැන් අභියෝගයට ලක් වෙමින් පවතී. විවිධ දැල් වර්ග හා වෙරළාසන්නව භාවිත කරන පන්න ක්‍රම නිසා රිටිපන්න ධීවරයාගේ ආර්ථිකය පහළ වැටෙමින් ඇත. නමුත් මේ සුවිශේෂී පන්න ක්‍රමයට ආදරය කරන ධීවරයෝ එම කාර්යයයේ ඉතා ගෞරවයෙන් භක්තියෙන් යුතුව නියැළෙති. 

සුවිනි ඉන්දීවරී හෙට්ටිආරච්චි

No comments:

Post a Comment